[පහත දැක්වෙන්නේ, ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබදව දිවයිනේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ, ලංකාවේ ප්‍රසිද්ධ ගරු කටයුතු ස්වාමින්වහන්සේලා කිහිපනමක් එක්ව පැවත්වූ සාකච්ඡාවක යූටියුබ් දර්ශනයක් නෙත ගැටීමට සැලැස්වීමෙන් පසුව, ලෞකිකත්වයෙන් මිදී ආධ්‍යාත්මික දිවි පෙවෙතක් ගත කරන උතුම් මුනිවරයකු විසින් නිහඬවම කර පිරිනමන ලද, මාගේ ඇඟ කිලිපොලාගිය, රෝම උද්ගමනය කල, ඇස් ඇරවූ, නැණස පෑදූ මහා ශාස්ත්‍රීය කියවීමක් සහිත ඒ ඓතිහාසික ලියවිල්ලයි!
කියවීමේ පහසුව උදෙසා ඡේද බෙදීම සහ උධෘත පාඨ යෙදීම යතුරු ලියනය කරනවිට එකතු කළ දේ වන අතර ඉතිරි සියල්ල මූලික ලියවිල්ලෙන් ඒ ලෙසම උපුටා දක්වා ඇත.
සාසනමාමක ඔබට මෙය අවසානය දක්වා කියවීමට අවැසි වීර්ය සති බල නැගේවා !!!]
--- උපුටා ගැනීම අරම්භය--
සාස්තෘ ඝාතක විනය විරෝධී ත්‍රිපිටක සංරක්ෂණ පනත
… දැනටමත් ජාතික උරුමයක් නම්, සංරක්ෂණ පනතක් කුමකටද…?
දැනටමත් ජාතික උරුමයක් බවට පත්කොට කිසිවෙකුට වෙනස් නොකල හැකි ලෙස සංරක්ෂණය කර ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තවද සංරක්ෂණය කරනවා කියමින් මතුපිටින් මාතෘකාවක් යොදාගෙන ඇතුළතින් වෙනත් අරමුණක් ඉටුකරගැනීම සඳහා යම් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් විසින් ත්‍රිපිටක සංරක්ෂණ පනත නමින් බුද්ධ සාසනය තුළට නව නීතිමය පනතක් ගෙන ඒමට වත්මන් රජයට බලපෑම් කර මේ වන විට එම පනත් කෙටුම් පතට කැබිනට් මන්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත. එම කෙටුම් පත නීති කෙටුම්පත් අංශයේ දැනට කෙටුම්පත් කටයුතු සිදු කරමින් පවතී. එම පනත ගෙන එන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙහි සංස්කෘත මිශ්‍ර සිංහල නිර්වචනයන් එලෙසම භවිතා නොකරමින් ධර්මය දේශනා කරනා දේශකයන්ටත්, ධර්ම ග්‍රන්ථ සකස් කරනා ලේඛකයන්ටත් නීතිමය දඬුවම් පමුණවා ඔවුන් මර්ධනය කිරීම සඳහායි.
… බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ සංස්කෘත මිශ්‍ර සිංහල පරිවර්තනය කාගේද..?
ඉහත බුද්ධ ජයන්ති ත්‍රිපිටකය නම් අතීතයේදී වැඩසිටි රහතුන් විසින් පාළි භාෂාවෙන් ග්‍රන්ථ කරණය කර සටහන්ව තැබූ බුද්ධ දේශනාවන් හා එම දේශනාවන්හි අර්ථයන් සංස්කෘත මිශ්‍ර සිංහල භාෂාවට පරිවර්තනය කර සකස් කරන ලද ග්‍රන්ථ මාලාවයි.
එම ග්‍රන්ථ මාලාවෙහි අඩංගු සංස්කෘත මිශ්‍ර සිංහල භාෂා පරිවර්තනය සිදු කර ඇත්තේ දැනට දශක කිහිපයකට පෙර ඉතා මෑත කාලයේදීය. එය සිදු කර ඇත්තේ පාළි භාෂාව හා සංස්කෘත භාෂාව ඉගෙනගත් සිංහල භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත මණ්ඩලයක් මගිනි, තවද මෙම ත්‍රිපිටක සංරක්ෂණ පනත ගෙන එන්නේ එම සංස්කෘත මිශ්‍ර සිංහල නිර්වචනයන් එලෙසම භවිතා නොකරමින් මත පල කරමින් ධර්ම දේශනා කරනා භික්ෂූන් වහන්සේලා හා සෙසු දහම් දේශකයන්ට විරුද්ධවයි. ඔවුනට විරුද්ධව තීරණ ලබා දීමට ලෝකායති ශාස්ත්‍ර ඉගෙනගත් භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත මණ්ඩලයක් පනතට අනුව පත්කරවා එම මණ්ඩලයට නීතිමය බලයක් ලබාදේ.
… බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පරිවර්තනය කලේ පෘතග්ජන හිමිවරුන්ය
නමුත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ ඇති සංස්කෘත මිශ්‍ර සිංහල භාෂා අර්ථයන් ඉතා මෑත කාලයේදී සැපයූ ඒවා බවත්, ඒවා පරිවර්තනය කර ඇත්තේ හුදෙක් භාෂාව පමණක් උගත් මාර්ග ඵලයන්ට නොපැමිණි පෘතග්ජන භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත ඉහත සඳහන් කල මණ්ඩලයෙන් බවත්, එනිසා එම අර්තකථනයන් පාළියෙන් ඇති බුද්ධ දේශනාවන්ට පටහැනි වන අවස්ථාවන් බොහෝ ඇති බවත් පවසමින් ඒවා පිළිනොගන්නා භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් වර්තමානයේදී බොහෝ තැන්වල දේශනා පවත්වයි.
… අධර්මවාදී කෝලහලයෙන් වික්ෂිප්තවූ බොදුනු සමාජය
නමුත් ඔවුනට අධර්මවාදීන් යැයි චෝදනා කරමින් ඔවුනගේ ධර්ම දේශනා ශ්‍රවනය නොකරව් යනුවෙන් දැනට පවතින සංස්කෘත මිශ්‍ර සිංහල අර්ථකථනයන් පිළිගන්නා භික්ෂූන් වහන්සේලා විසින් බෞද්ධ සමාජය නිතරම දැනුවත් කරයි. එනම් "අසවල් භික්ෂූන්ගේ ධර්ම දේශනා අසන්නට එපා ඔවුන් අධර්මවාදීන්ය. අසවල් භික්ෂූන්ට දන්දෙන්නට එපා ඔවුන් සාසනයට විනාශයකි. අසවලුන් ධර්ම විනය විනාශ කොට දෙසන්නේය" කියායි... බෞද්ධ ජනතාවගෙන් පිරිසක් එම චෝදනාව ප්‍රතික්ෂේපකරන අතර පිරිසක් ඊට පක්ෂපාතීත්වයක් දක්වයි. දිවා රෑ ඇසෙනා මෙම විලාපය අසා අද වනවිට බෞද්ධ සමාජය හෙම්බත්වී ගොස් යන එනමන් නොමැතිව මානසික නිදහස ඇහිරී දෙකොට්ඨාසයක බසට විවිධ ලෙස දෘෂ්ටි ගතවී ඇත. මෙම භික්ෂූන් දෙපක්ෂයෙන් නිවැරදි දෑ පවසන්නේ කවුරුන්දැයි කියා තෝරා බේරාගැනීමට නොහැකිව වත්මන් බෞද්ධ සමාජය විශාල ගැටළුවකට මුහුණපා ඇත.
… ශාස්තෘන් වහන්සේ අපව අනාත කරල නැහැ
නමුත් මෙවැනි වූ අර්බුදයක් ඇති කල්හි තථාගතයන් වහන්සේ අනුව යන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෙස කෙසේ පිළිපැදිය යුතුද යන්න පිළිබඳව තථාගතයන් වහන්සේ විසින්ම පැහැදිලිව දෙසා වදාරා ඇති විනය පිටකයේ මහා වග්ග පාළියට අයත් බුද්ධ දේශනාවක් ඇත.
… බුදුන් දෙසූ දේ අසව්...!!!
බෞද්ධයෙකු ලෙස වර්තමානයේ පැන නැගී ඇති ඉහත සාසනික ගැටළුව මනාලෙස නිරාකරණය කරගැනීම සඳහා තථාගතයන් වහන්සේ යම් පැහැදිළි මග පෙන්වීමක් සිදු කර ඇත්නම් ඔබ එම මග පෙන්වීම හිස් මුදුනින් අනුමත කර පිළිපැද වත්මන් ගැටළුව නිරාකරණය කරගන්නා බව මා හොඳින් දනිමි.
… බුද්ධ ආඥා අධිකාරියට එරෙහිව අධිකරණ බලය යෙදවීම
නමුත් ඔබ එම මග පෙන්වීම දැන පිළිපැදීමට යද්දී යමෙකු එය නොපිළිපදිව් මෙය පිළිපැද ගැටළුව නිරාකරණය කරගනිව් යනුවෙන් විධාන දී ඔබට බාධා පමුණුවනවානම් ඔබ එම ක්‍රියාව බෞද්ධයෙකු ලෙස අනුමත කරනවාද?
මා පෙර දැක්වූ බුද්ධ දේශනාවේ සරණ යන්නට බෞද්ධයන්ට ඇති ඉඩකඩ අහුරා බලහත්කාරයෙන්ම එම බුද්ධ දේශනාව වසා දමා බුදුන්ගේ බුද්ධ ආඥා අධිකාරියට හා බෞද්ධයන්ගේ ආගමික අයිතිවාසිකම් තුළට අත දමා ඒවා උල්ලංඝණයකිරීම සඳහා රාජ්‍ය බලය සහිතව නීතිමය බලපෑම් කිරීමට ඉහත නව ත්‍රිපිටක සංරක්ෂණ පනත ක්‍රියාත්මක වෙයි.
… මෙම පනත ධර්ම විරෝධීයි!!! විනය විරෝධීයි!!!
මා ඉහත සඳහන් කර ඇති පරිදි බෞද්ධයන්ට ධර්මශ්‍රවනයේදී පැන නැගී ඇති වර්තමාන ගැටලුකාරී තත්වයට පිළිතුරු ලෙස තථාගතයන් වහන්සේ විසින් වදාල ප්‍රධාන ඉගැන්වීමද පසෙකලා එය ප්‍රතික්ෂේපකර ඊට පයින් ගසාදමා තමන් වහන්සේලා විසින් බලහත්කාරයෙන් විසඳුම් දෙන්නට මෙම නීතිමය පනත බුද්ධ නීතියටද විරුද්ධව සකස්කර සාසනය තුළට වද්දාගන්නට පොරබදින්නේ සංස්කෘත මිශ්‍ර සිංහල අර්ථයන් පමණක් පිළිගන්නා සුළුතර භික්ෂු කණ්ඩායමකි. එම භික්ෂූන්ගේ මෙම දඩබ්බර ක්‍රියාපටිපාටිය ධර්ම විනයට බහා බැලූ කල එය ඉතා දරුණු ධර්ම විරෝධී හා විනය විරෝධී උත්සාහයක් බව මනාව පෙනේ. කෙතරම් දරුණු ලෙස ධර්ම විනය විරෝධීද කිවහොත්,
ශාස්තෘන් වහන්සේවද මෙම පනත මගින් සාසනයෙන් එලවාදමා ඇත.
… බුද්ධ දේශනාවට වඩා ශ්‍රේෂ්ඨ පෘතග්ජන පනතක්...?
වර්තමාන ගැටළුව නිරාකරණය කරගැනීමට තථාගත දේශනාව පිරිසිදුව තිබියදී එම දේශනාව සමාජයට පෙන්වා නොදී එය වසා දමා එම දේශනාව පිළිපැදීමට මුලු මහත් බෞද්ධ සමාජයටම පවතින ඉඩකඩ වෙත මරු පහරක් එල්ල කරමින් එය පිළිපැදීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කරමින් පනතක් ගෙන එන්නේ එම බුද්ධ දේශනාව ඉතා නීච එකක්දැයි කියා විමසන්නට සිදුවේ. නැතහොත් මෙම පනතේ ඇති එම භික්ෂූන්ගේ අදහස් බුද්ධ දේශනාවට වඩා ශ්‍රේෂ්ඨ එකක් දැයි කියා විමසන්නට සිදුවේ.
… තම පහත් අරමුණු ඉටු කරගැනීමට සාසනය බිළිදීම
ඇත්ත වශයෙන්ම මෙහිදී සිදුවන්නේ සංස්කෘත මිශ්‍ර සිංහල අර්ථ ඉගෙනගත් භික්ෂු කණ්ඩායම විසින් ඔවුනගේ මතය ප්‍රතික්ෂේපකර අදහස් දක්වමින් ධර්ම දේශනා සිදු කරනා නව අදහස් ඇති භික්ෂු කණ්ඩායම බලහත්කාරයෙන් වැළැක්වීමට නීතියේ බලය යොදා බාධා පමුණනවා මිස බෞද්ධයන් කෙරෙහි විශේෂ කරුණාව දැක්වීමක් නොවේ.
… සාසනයේ චිරස්ථිතියට හේතු නොවේ, සාසනයේ විනාසයට මගපාදයි
බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව එකිනෙකා අතර ඇති මත භේද හේතුවෙන් මෙලෙස එක් භික්ෂු කණ්ඩායමක් විසින් තමන්ගේ මතය බලහත්කාරයෙන් ප්‍රකාශ කිරීමටත් සෙසු මතයන් ඉදිරිපත් කරනා භික්ෂූන්ට දඩුවම් පැමිණවීමටත්, තථාගත ආඥාව ප්‍රතික්ෂේප කොට, ඊට පයින් ගසා, තමන් ගේ අභිමතය පරිදි හිතුවක්කාර ලෙස නව නීතියක් දමමින් මෙවැන්නක් සිදු කිරීමට යද්දී, විනය පිටකයේ බුද්ධ නීතිය බිදීමෙන් එය දරුණු ලෙස උල්ලංඝණයවීම නිසා සමස්ත ගිහි පැවිදි බෞද්ධයන්ගේ ආගමික අයිතිවාසිකම් දැඩිලෙස උල්ලංඝණයවන බව බෞද්ධ ජනතාව හොදින් දැක ගත යුතුයි. එනිසා මෙය කිසිසේත්ම සාසනයේ චිරස්ථිතියට හේතු නොවේ. මින් විනය පිටක බුද්ධ ආඥාවන් දරුණු ලෙස උල්ලංඝණයවෙයි. එනිසා මෙය දැඩි විනය විරෝධී ක්‍රියාවක් බවට පත් වේ. එමගින් සාසන ආයුෂය කෙටිවී සාසන විනාශයකට මග පාදයි.
… සාසනයේ ආයුෂ බිඳින්නට ඉඩ දෙනවාද?
“විනයෝ නාම සාසනස්ස ආයු” – (විනය යනු සාසනයේ ආයුෂයයි)
සාසනයේ ආයුෂය නැතහොත් සාසනයේ දිගු කල් පැවැත්මට හේතුවන විනය නීති ඇතුළත් දේශනා මාලාවක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇත. යම් දෙයකින් එම විනය දේශනාවන් පිළිපැදීම බිඳ හරිනවා නම් එමගින් සාසන ආයුෂය පිරිහෙනා බව බුද්ධ දේශනාවයි.
සාසනගරුක සංඝයා වහන්සේලා ලෙස සාසනය රකින්නට නම් බුද්ධ දේශනාවට අනුව විනය පිටක දේශනාවන් බිදෙන්නට ඉඩ නොදී ඒවා දිවි හිමියෙන් පිළිපැදිය යුතුද?
නැතහොත් විනය දේශනාවන් වනසා ගෙන අනුන් මඩින්නට ගෙන එන විනය විරෝධී පනත පිළිපැද ඊට සහයෝගය ලබාදිය යුතුද?
යන කරුණ මනාව දැන ගැනීමට මහාවග්ග පාළියෙහි කොසම්බක ඛන්ධකයේ 879 පිටුවේ සිට කරුණු දක්වන බුද්ධ දේශනාව පහත දක්වා එය විග්‍රහ කර තබමි.
… ත්‍රිපිටක සංරක්ෂණ පනත් මර උගුලේ තතු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව අනුව
බුද්ධ සාසනය රැක ගැනීමට සැබෑ අවශ්‍යතාවය ඇති නුවණැති මහා සංඝරත්නය හා නුවණ ඇති බෞද්ධයන් ඇත්නම් පහත බුද්ධ දේශනාව මනා ලෙස කියවා තේරුම් ගෙන සාසනය නැසීමේ මෙම මාර උගුලෙන් බුද්ධ සාසනය ගලවා ගැනීමේ මහගු පින්කමට එකතු වන මෙන් සාසන ගරුකව ඉල්ලා සිටිමි.
විනය පිටකයේ මහාවග්ග පාළියෙහි කොසම්බක ඛන්ධකයේ 879 පිටුවේ සිට කරුණු දක්වන බුද්ධ දේශනාව
කොසබෑ නුවර සිටි දබර කරන්නා සුළු කලහකාරී විවාදකාරී එක්තරා භික්ෂූන් පිරිසකට කොසබෑ නුවර වැසියන් අපැහැදී ඔවුනට දන්පැන් පූජා කිරීමෙන් වැළකී ගෞරව කිරීම් වැදීම් පිදීම් නොකොට ඔවුනව ප්‍රතික්ෂේප කරන්නට විය. දන්පැන් නොලැබීමෙන් මැඩුණු මෙම භික්ෂූන් වහන්සේලා කොසබෑ නුවර අතහැර සැවැත් නුවර වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණීමට තීරණය කරන්නට විය. සැවැත් නුවරට පැමිණෙන මෙම කලහාකාරී අධර්මවාදී භික්ෂූන් වහන්සේලා පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුද යන්න සැරියුත් තෙරණුවන් විසින් ප්‍රථමයෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට විය.
එවිට ශාස්තෘන් වහන්සේ සාරිපුත්ත එසේනම් තෙපි ධර්මය පරිදි සිටිව් යැයි වදාළේය. ස්වාමීනි මම මෙය ධර්මයයි හෝ අධර්මයයි හෝ කෙසේ දනිම්ද?
… අධර්මවාදීන් හදුනා ගැනීමට ශ්‍රී මුඛ දේශනාව : සැරියුත් තෙරණුවන්ට…
සාරිපුත්‍රය, වස්තු අටළොසකින් අධර්මවාදී පුද්ගල තෙමේ දත යුතුය: සාරිපුත්‍රය, මෙහි මහණෙක්
- අධර්මය ධර්මයයි දක්වයිද
- ධර්මය අධර්මයයි දක්වයිද
- අවිනය විනයයි දක්වයිද
- විනය අවිනයයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වයිද
- අනාපත්තිය ආපත්තිය යි දක්වයිද
- ආපත්තිය අනාපත්තිය යි දක්වයිද
- ලහුකාපත්තිය ගරුකාපත්ති යි දක්වයිද
- ගරුකාපත්තිය ලහුකාපත්ති යි දක්වයිද
- සාවසෙසාපත්තිය අනවසෙසාපත්තිය යි දක්වයිද
- අනවසෙසාපත්තිය සාවසෙසාපත්තිය යි දක්වයිද
- අදුට්ඨුල්ලාපත්තිය යි දුට්ඨුල්ලාපත්තිය යි දක්වයිද
- දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයිද
සාරිපුත්‍රය, මේ වස්තු අටළොසින් අධර්මවාදී පුද්ගල තෙමේ දත යුතුය.
… ධර්මවාදීන් හදුනා ගැනීමට ශ්‍රී මුඛ දේශනාව : සැරියුත් තෙරණුවන්ට…
සාරිපුත්‍රය, වස්තු අටළොසකින්ම ධර්මවාදී පුද්ගල තෙමේ දත යුතුය: සාරිපුත්‍රය, මෙහි මහණෙක් තෙමේ
- අධර්මය අධර්මයයි දක්වයිද
- ධර්මය ධර්මයයි දක්වයිද
- අවිනය අවිනයයි දක්වයිද
- විනය විනයයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වයිද
- තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වයිද
- අනාපත්තිය අනාපත්තිය යි දක්වයිද
- ආපත්තිය ආපත්තිය යි දක්වයිද
- ලහුකාපත්තිය ලහුකාපත්ති යි දක්වයිද
- ගරුකාපත්තිය ගරුකාපත්ති යි දක්වයිද
- සාවසෙසාපත්තිය සාවසෙසාපත්තිය යි දක්වයිද
- අනවසෙසාපත්තිය අනවසෙසාපත්තිය යි දක්වයිද
- දුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යි දක්වයිද
- අදුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයිද
සාරිපුත්‍රය, මේ වස්තු අටළොසින් ධර්මවාදී පුද්ගල තෙමේ දත යුතුය.
… ධර්මවාදීන්/අධර්මවාදීන් හදුනා ගැනීමට ශ්‍රී මුඛ දේශනාව : මුගලන් තෙරණුවන්ට
දෙවනුව මහ මුගලන් තෙරුන් ද මෙම භික්ෂූන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු දැයි ශාස්තෘන් වහන්සේගෙන් විමසූ කළ ධර්මය පරිදි සිටිව් යනුවෙන් නැවතත් පිළිතුරු දුන්හ.
… ධර්මවාදීන් / අධර්මවාදීන් හදුනා ගැනීමට ශ්‍රී මුඛ දේශනාව : රාහුල තෙරණුවන්ට
තෙවනුව රාහුල තෙරුන්ද එයම විමසූ කළ භගවත්හූ එම පිළිතුරම සැපයීය.
… දෙපක්ෂයෙන්ම බණ අහන්න : මහා ප්‍රජාපතී ගෝතමියන්ට...
සිව්වනුව මහා ප්‍රජාපතී ගෝතමිය ද විමසූ කල ගෝතමිය එසේනම් ඔබ දෙපක්ෂය වෙතම දහම් අසන්න. දෙපක්ෂය වෙතම දහම් අසා එහි යම් භික්ෂූහු ධර්මවාදී වෙත්නම් ඔවුනගේ ලබ්ධිය දරා ගන්නා ලෙස වදාළාය.
… දෙපක්ෂටම දන් දෙන්න, දෙපක්ෂයෙන්ම බණ අහන්න: අනේපිඬු සිටුතුමාට...
පස්වනුව අනේපිඬු සිටුතුමාද විමසූහ. එවිට බුදූහු ගැහැවිය එසේ නම් තොප දෙපක්ෂයටම දන් දෙන්න. දෙපක්ෂයටම දන් දී දෙපක්ෂය වෙත දහම් අසන්න. දෙපක්ෂය වෙතම දහම් අසා එහි යම් භික්ෂූහු ධර්මවාදී වෙත්නම් ඔවුනගේ ලබ්ධිය දරා ගන්නා ලෙස නැවත වදාළේය.
… දෙපක්ෂටම දන් දෙන්න, දෙපක්ෂයෙන්ම බණ අහන්න: විශාකාවන්ට...
සයවැනුව මිගාර මාතාව වූ විශාකාවන්ද එයම විමසූ කළ එසේනම් තෙපි දෙපක්ෂයටම දන්දෙව්. දෙපක්ෂයටම දන්දී දෙපක්ෂය වෙත දහම් අසව්. දෙපක්ෂය වෙතම දහම් අසා එහි යම් භික්ෂූහු ධර්මවාදී වෙත්නම් ඔවුනගේ ලබ්ධිය දරා ගන්නා ලෙස නැවතත් වදාළේය.
… වෙන් කළ විවේකී සෙනසුනක් දෙන්න: සැරියුත් තෙරණුවන්ට…
අනතුරුව ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ භික්ෂූන් කෙරෙහි සෙනසුනක් දීම කෙසේ කළ යුතු දැයි විචාළාහුය. එසේනම් සාරිපුත්‍රය විවික්ත (වෙන් කළ විවේකී) සෙනසුනක් දිය යුතුයි. ස්වාමීනි විවික්ත සෙනසුනක් නොවේ නම් කෙසේ කළ යුතුද? සාරිපුත්‍රය එසේ නම් විවික්ත කොටද දිය යුතුයි. සාරිපුත්‍රය මම කිසි ලෙසකින් ඉතා වැඩිහිටි මහණහුට සෙනසුනක් වැළැක්විය යුතු යැයි නොකියමි. යමෙක් වළකා නම් දුකුලා ඇවැත් වේ.
… ආමිසය සමව බෙදන්න: සැරියුත් තෙරණුවන්ට…
ස්වාමීනි ආමිසය කෙසේ කළ යුතුද? සාරිපුත්‍රය ආමිසය සියල්ලන්ට සමව බෙදිය යුතුය.
… මෙයයි බුද්ධ ආඥාව! මෙයයි බුදුන් පැනවූ විනය!
විනය පිටකයේ විනය ආඥාවන් දක්වන මෙම දේශනාවෙන් තථාගතයන් වහන්සේ අවධාරණය කරන්නේ බුද්ධ සාසනයේ පැවිදි බව ලැබූ සියලු භික්ෂූන් වහන්සේලා හට උන්වහන්සේගේ සාසන විනය තුළ පැවිදි උපසම්පදා වැඩිමහල් පිළිවෙලින් එන ආකාරයට සම අයිතියක් පවතින අතර සියලු භික්ෂූන් වහන්සේලාගේ සමගි බව සාසන විනය තුළ රැක ගත යුතුයි යන කරුණයි. “සුඛා සංඝස්ස සාමග්ගි” යනුවෙන් සියලු මහ සඟරුවනේ සමගි බව සියල්ලන්ට සැපයක් යැයි දේශනා කර ඇත.
එසේ සමගියෙන් වැඩ ඉන්නා සංඝයා තුළ ධර්මවාදී හා අධර්මවාදී ලබ්ධීන් ඇති භික්ෂූන් වෙන්කර හඳුනාගන්නේ දෙපක්ෂයේම දහම් අසා තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දුන් ඉහත කී දහ අට කරුණු වලට බහා බලා ඊට අනුකූලවම බව තථාගතයන් වහන්සේ විසින් තම ශ්‍රාවකයින්ට සුපැහැදිලිවම වදාරා ඇත. එය කඩ කල නොහැකි විනය ආඥාවකි.
එම දහ අට කරුණු වලට අනුකූලව ධර්මවාදී භික්ෂූන් වෙන් කරවා ගෙන දැක ඔවුන් දෙසනා දහම් දරාගත යුතු බවත් එම දහම්හි රුචිය ඇති කරගත යුතු බවත් පැහැදිලිවම වදාරා ඇත.
එමෙන්ම තථාගතයන් වහන්සේගේ සාසනයේ පැවිදි වූ මහ සඟරුවන ලෙසට ධර්මවාදීවූත් අධර්මවාදීවූත් දෙපක්ෂයටම බුද්ධ සාසනයේ උපාසක උපාසිකාවෝ ලෙස මහ සඟරුවනේ ගුණ සිහිකර සමව දන් දිය යුතු බව දෙසා වදාරා ඇත.
සේනාසන ආදී අනෙකුත් ප්‍රත්‍යයන්ද සාසන විනයේ පැවිදි උපසම්පදා පිළිවෙලට ලබා දිය යුතු බවත් යමෙකු එය සිඳින්නේ නම් දුකුලා ඇවත් වේ යැයි ඇවතක්ද අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වන සැරියුත් මහ තෙරණුවන්ට පෙන්වාදී සෙනසුන්ද සකසා දෙන ලෙස ඉහත දේශනාවෙන් පැහැදිලිව බුද්ධ ආඥාවක් පනවා ඇත.
වර්තමාන සාසන අර්බුදයට විසඳුම් ලෙස එයයි තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්මය, එයයි පෙන්වා දුන් විනය, එයයි වදාරණ ලද්ද, එයයි පුරුදු කරණ ලද්ද, එයයි පණවන ලද්ද.
… බුද්ධ දේශනාවට අනුව, පනත ගෙන එන්නෝ අධර්මවාදියෝ ය
සාසන විනය තුළ කිසියම් භික්ෂුවක් හෝ භික්ෂු කණ්ඩායමක් මෙම විනය දේශනාවෙන් පනවා ඇති බුද්ධ ආඥාව පිළිනොපැද, එය ප්‍රතික්ෂේප කර, බිඳ හරිනවා නම් ඔවුන් තථාගතයන් වහන්සේ විසින් පැනවූ විනය අවිනය ලෙස දක්වන, වදාරණ ලද්ද නොවදාරණ ලද්ද ලෙස දක්වන, පුරුදු කරණ ලද්ද නොපුරුදු කරන ලද්ද ලෙස දක්වන, පණවන ලද්ද නොපණවන ලද්ද ලෙස දක්වන, නොපණවන ලද්ද පණවන ලද්දක් ලෙස දක්වන, විනය විරෝධී ශාස්තෘ ඝාතක අධර්මවාදී භික්ෂූන් වහන්සේලා කොට්ඨාසයක් බව කණගාටුවෙන් හෝ පවසන්නේ ධර්මධර විනයධර මහා සංඝරත්නය ඇතුළු ලංකාවාසී ලෝකවාසී සියලු ශාස්තෘ ගරුක බෞද්ධ ජනතාවගේ දෙනෙත් විවර කිරීම උදෙසාය.
… ධර්ම-විනය අපගේ ශාස්තෘ වන්නේය (භික්ෂුවක් හෝ භික්ෂු කණ්ඩායමක් නොවේ!!!
මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ උතුම් සාසනයෙහි පැවිදි වූ ඕනෑම භික්ෂූන් වහන්සේ නමක් දේශනා කරන ධර්ම දේශනාවන් සිව්වනක් පිරිසටම මෙසේ නිදහසේ ශ්‍රවණය කර ධර්මය අධර්මය වෙන්කරවා පිළිපැදීමට අවශ්‍ය පූර්ණ අයිතිය ලබාදීම සඳහා පැහැදිලි බුද්ධ ආඥාවක් පනවා ඇත. ඉහත විනය පිටකයට අයත් දේශනාවෙන් කිසිදු භික්ෂුවකට හෝ භික්ෂු කණ්ඩායමකට ඊට ඉඩ ඇහිරිය නොහැකි ලෙස පිරිසිදුව වදාරා ඇත. යම් භික්ෂු කණ්ඩායමක් එයට ඉඩ අහුරන්නේ නම් ශාස්තෘන් වහන්සේගේ ධර්ම විනය ප්‍රතික්ෂේප කරන්නා වූ, බුද්ධ ආඥාවට එරෙහිව නැගී සිටින්නාවූ ශාස්තෘ ඝාතක පාපී භික්ෂූන් බවට ඔවුහු පත් වේ.
… තම කිරි දුන් මව තම අභිමතය පරිදි කෙළෙසන පාපිෂ්ඨයා නොවන්න
ආනන්දය මාගේ ඇවෑමෙන් ධර්ම-විනය ඔබලාට ශාස්තෘ වන්නේය. ඉහත බුද්ධ වචනයට අනුකූලව වර්තමාන බුද්ධ ශාසනයේ ශාස්තෘන් වහන්සේ වන්නේ උත්තරීතර ධර්ම විනයයි. සිව්වනක් පිරිසම ඊට අනුව පිළිපැදිය යුතුයි. එසේ නොමැතිව මෙසේ පිළිපදිව් යැයි, එය යටතේ සමාදන් වූ කිසිදු භික්ෂුවකට හෝ භික්ෂු කණ්ඩායමකට, නව විධාන සැපයිය නොහැක. එසේ විධාන දෙනවා නම් ශාස්තෘන් වහන්සේ පන්නා දමා ඔවුන් ශාස්තෘන් වහන්සේලා බවට පත් වන්නාක් වැනිය. යම් භික්ෂුවක් හෝ භික්ෂු කණ්ඩායමක් සටකපට ලෙස එබදු ද්‍රෝහී කමක් සිදුකරනවා නම් ඔවුන් ශාස්තෘ ද්‍රෝහී පුද්ගලයන් බවට පත් වේ. කෙටියෙන්ම කිවහොත් ඔවුන් සාසන ද්‍රෝහීන්ය. ඔවුන් තම කිරි දුන් මව තම අභිමතය පරිදි කෙළෙසිය හැකිතරම් පවිටු සිත් ඇත්තවුන් මිස, ඔවුන් කිසිදා සාසනය රකිනවුන් නොවේ.
… තථාගතයන් වහන්සේ තුන්කල් බලා පැනවූ විනය අඩංගු විනය පිටකය උල්ලංඝණයකරන විට එතැනම සාසනය බිඳී ඇති බව නොදුටුවේ මාරාවේශයෙන් ද…?
ඉහත විනය පිටකයේ දේශනාවෙන් පැන වූ බුද්ධ ආඥා චක්‍රයට, මෙම සාසන ද්‍රෝහීන් විසින් මරු පහරක් එල්ල කරන්නට යන බව සංඝයා නොදුටුවේ මන්ද?
බුද්ධ ආඥාවන් පනවා ඇති විනය පිටකය, මෙම සාසන ද්‍රෝහීන් විසින් අමු අමුවේ උල්ලංඝණයකරන විට එතැනම සාසනය බිඳී ඇති බව නොදැක, ඇතැම් ගිහි පැවිද්දන් විසින් අන්ධයන් සේ, මෙම සාසන ද්‍රෝහී පනතින් හොඳට සාසනය රැකෙනවා කියන්නේ මාරාවේශයෙන් දැයි මා හට විමසන්නට සිදුවේ.
… ත්‍රෛනිකායික ගරුතර මහා නායක ස්වාමීන් වහන්සේලාගේ විශේෂ අවධානය පිණිසයි ! සසුන රකිනවාද…? වනසනවාද…?
වර්තමාන සාසනයේ සංඝයා භාරව වැඩ සිටින ත්‍රෛනිකායික ගරුතර මහා නායක ස්වාමීන් වහන්සේලාගේ විශේෂ අවධානය පිණිස ඉහත විනය පිටක දේශනාවේ ආඥා චක්‍රය පිළිබඳව විග්‍රහ කරන්නට අවසරයි. මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකර මෙම සාසන ද්‍රෝහී පනත ප්‍රතික්ෂේප කොට සසුන රැකීම හෝ ඉන් සසුන වනසා දැමීම යන තීරණාත්මක සාසනික තීන්දුව ලබා දීමේ භාරදූර කටයුත්ත ඔබ වහන්සේලාට බාරයි.
… ඔබවහන්සේලාත් ශාස්තෘද්‍රෝහී වෙන්න එපා...!!!
යම් හෙයකින් මෙම සාසනද්‍රෝහී පනත ඔබ වහන්සේලා විසින් අනුමත කළහොත් ඔබ වහන්සේලාද සස්තෘන් වහන්සේට ද්‍රෝහිවීමේ දරුණු පාප කර්මයට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් බවට පත්වේ. ඉන් මිදී මේ පිළිබඳව ඔබ වහන්සේලාට ධර්මනුකුල සෘජු තීරණයක් ලබා දීමේ පහසුව සඳහාත්, මෙම විනය විරෝධී පනත සහ එය සම්මත කර ගැනීමට පොරබදනා මෙම භික්ෂු කණ්ඩායමේ සාසනද්‍රෝහී බව තවදුරටත් ඔප්පු කරදීම සඳහාත්, ධර්මානුකුල විග්‍රහයක් පහත ලියා තබමි.
බුද්ධ ආඥා චක්‍රය රැකීමෙන් සාසන ආයුෂ රැක ගන්නා අයුරුත්, බුද්ධ ආඥා චක්‍රය බිඳ දැමීමෙන් සාසන ආයුෂ පිරිහෙනා අයුරුත්, ලෙස ගෙන දක්වමි.
… විනය රැකීමෙන් සාසනය රැකෙන හැටි (බලනු මැන මෙහි ඇති බුදු හිමියන්ගේ තුන් කල් දක්නා නුවණින් පැනවූ විනයෙහි ආශ්චර්යය)
බුද්ධ ආඥා චක්‍රය පිළිපැදීමෙන් සාසන ආයුෂය සුරක්ෂිත වන ආකාරය;
“සුඛා සංඝස්ස සාමග්ගි” - (සංඝයාගේ සමගි බව සැපයක්ය)
ඉහත දේශනානුකූලව පෙනී යන්නේ අධර්මවාදී හා ධර්මවාදී භික්ෂූන් දෙපක්ෂයම බුද්ධ කාලීන භික්ෂු සමාජය තුළද ගැවසී ගත් බවයි. ශාස්තෘන් වහන්සේ විසින් පැවිදි උපසම්පදා වැඩිමහල් අනුපිළිවෙලට වත් පිළිවෙත් අනුව යමින් සම්මුති සංඝ විනය තුළ දෙපක්ෂයම සමගි සම්පන්නව පවත්වාගන්නට බුද්ධ ආඥාවන් පනවා ඇති බැවින් සිව්වනක් පිරිසම ඒ අනුව පිළිපැදිය යුතුය. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පවා ඊට යටත්ය. එනම්,
- දෙපක්ෂයටම දන් දිය යුතුයි
- දෙපක්ෂයටම සේනාසන ආදිය ලබාදිය යුතුයි
- දෙපක්ෂයටම ආමිසය සමව ලබා දිය යුතුයි
එවිට සමගි සම්පන්නව සංඝ සමාජයේ පැවැත්ම ගලා යයි. එකිනෙකා අතර ගැටුම් අඩුවී යයි. එසේ සමඟිව පවතින සංඝ සමාජයක් ඇති කළ එහි නිසි ඵල නෙලාගනිමින් සාසන ආයුෂ රැකගැනීමට නම් පහත ආඥා චක්‍රය පිළිපැදිය යුතුයි.
- දෙපක්ෂයටම දම් දෙසීමට නිදහස දී ඇත(කිසිදු බාධා කිරීමක් පනවා නොමැත)
- දෙපක්ෂයෙන්ම දම් අසන්න (සෘජුව බුද්ධ ආඥාවක් පනවා ඇත)
- දම් අසන්නෝ, පෙන්වා දුන් දහ අට කරුණින් ධර්මවාදීන් වෙන්කර දැක ඔවුන්ගේ ලබ්ධිය දරාගත යුතුයි. එම දම් රුචි කළ යුතුයි (සෘජුව බුද්ධ ආඥාවක් පනවා ඇත)
ඉහත ආඥා චක්‍රය අනුගමනය කළ විට:
- දෙපක්ෂයටම දුන් නිදහස පරිහරණය කරමින් දෙපක්ෂයම දම් දෙසනා හෙයින් අධර්මවාදී දෙසන්නන්ද ධර්මවාදින්ගේ දහම් අසා ධර්මවාදීත්වයට පැමිණේ. (ඉන් ධර්මවාදීන් වර්ධනය වන බැවින් සාසන ආයුෂ වැඩේ.)
- දෙපක්ෂයම දම් දෙසනා හෙයින් අධර්මවාදීන්ගේ ලබ්ධි දැරූ ශ්‍රාවකයන්ද ධර්මවාදින්ගේ දම් අසා අධර්මවාදී දෘෂ්ටි අතහැර ධර්මවාදීත්වයට පැමිණේ. (ඉන් ධර්මවාදීන් වර්ධනය වන බැවින් සාසන ආයුෂ වැඩේ.)
දෙපක්ෂයම දම් දෙසනා හෙයින් දෙපක්ෂයේම දහම් අසා ශ්‍රාවකයන් ධර්මවාදී භික්ෂූන් සහ අධර්මවාදී භික්ෂූන් හඳුනා ගැනීමට ඉහත බුද්ධ දේශනාවෙන් පෙන්වා දුන් දහ අට කරුණින් මැන බලා බුද්ධ ආඥාව මනා ලෙස පිළිපැද ධර්මවාදී භික්ෂූන් ඊට අනුව හඳුනා ඔවුනගේ ලබ්ධිය දරා ඔවුනගේ දහම් රුචි කරයි, ඊට අනුව පිළිපදියි.
ධර්මවාදීන් දැක අධර්මවාදීන්ට ගැරහිය නොහැක. පුද්ගල විවේචනයට අග්‍ර ශ්‍රාවකයන්ද සුදුසු නැති බව ශාස්තෘන් වහන්සේ දෙසා වදාරා ඇත. එනිසා සමගි සම්පන්න බව වැඩේ. එකිනෙකා නොගැටේ. එකිනෙකාට සවන් දේ.
ධර්මවාදී වේවා අධර්මවාදී වේවා විනය ආඥාවන් පිළිපදිමින් මහා සංඝරත්නය සමගි සම්පන්නව භේදයකින් තොරව පවත්වාගෙන යන්නට ඉහත බුදු අණ මනා ලෙස පිළිපදියි.
“විනයෝ නාම සාසනස්ස ආයු” –(විනය නම් සාසනයේ ආයුෂයයි.)
පෙර කී බුද්ධ ආඥාවන් පිළිවෙලින් පිළිපැදීම යනු විනයයි. එය කිසිසේත් බිඳහැර නොහැකිය. විනය අනුගමනය කළ විට බුද්ධ ආඥාව නිදහසේ සමස්ත සාසනය පුරා ගලා යයි. එවිට බුදු සසුන ධර්මවාදීන්ගෙන් නිති පෝෂණය වෙමින් අධර්මවාදීන්ටද සාසන ධර්මය ලැබී ශික්ෂණයට එළඹීමට ඉඩ ප්‍රස්ථාව උදාවේ. උපද්‍රව රහිතව ඉදිරියට ගලයි. (ඉන් ධර්මවාදීන් වර්ධනය වන බැවින් සාසන ආයුෂ වැඩේ.)
ඉහත ආඥා චක්‍රයට බාධා පැමිණවීමෙන් සාසන ආයුෂය පිරිහෙන ආකාරය;
… සාසන ආයුෂය පිරිහවීමේ මහා සාවද්‍ය පාපයට අතගසයි
- දෙපක්ෂයටම දම් දෙසීමට දී ඇති නිදහසට බාධා කිරීම
“ඔබලා දම් දෙසන්නට එපා, ඔබලා අධර්මවාදීන්ය” යනුවෙන් යම් භික්ෂූන් පිරිසක් ප්‍රථමයෙන් තවත් භික්ෂූන් පිරිසක් මඩී. එය දෙපක්ෂයටම දම් දෙසීමට තථාගතයන් වහන්සේ විසින් ලබාදී ඇති නිදහසට අනිසි ලෙස අත පොවා සිදුකරන ද්‍රෝහීකමකි. එසේ අනුන් මඩින්නට යන භික්ෂූන් තථාගතයන් වහන්සේ නො පණවන ලද්දක් පණවන්නටත්, පැනවූ විනය නොපැණවීම පිණිසත් වශයෙන් දක්වන්නට ගොස් අධර්මවාදීන් බවට පත්වේ. සාසන ආයුෂයේ පැවැත්ම සඳහා නිදහසේ ගලා ගිය බුද්ධ ආඥා චක්‍රයට අනිසි ලෙස අත දමා බාධා පමුණුවා ඉන් සාසන ආයුෂය පිරිහවීමේ මහා සාවද්‍ය පාපයට අතගසයි.
විනය කඩ කරමින් එසේ අධර්මවාදයට වැටුණු එම භික්ෂූන්, සෙසු භික්ෂූන්ටද එම ලබ්ධිය වපුරයි. සෙසු භික්ෂූන් අතර උන් එම ලබ්ධිය ඇති තවත් භික්ෂූන් ඊට එකතු වේ. ඉන් සංඝයා දෙපිරිසකට බෙදේ. සංඝ සමගිය බිඳේ. එකිනෙකා විවේචනයට එයි. විවේචන උග්‍ර වූ කල එකිනෙකා ගැටේ. එකිනෙකාට ප්‍රිය නොවේ. එකිනෙකාට සවන් නොදේ.
එනිසා ධර්මවාදී භික්ෂූන් දහම් දෙසුවද සංඝයා අතර ඇති සමගි බව බිඳීමෙන් නැගුණු ව්‍යාපාද නීවරණයෙන් වැසී සවන් යොමු නොකෙරේ. එනිසා ධර්ම වාදයට පැමිණීමට අපොහොසත් වේ. ධර්මවාදය සසුන තුළ නිති වැඩීමට ඉන් බාධා පැමිණේ. (ඉන් ධර්මවාදීන්ගේ වර්ධනය පිරිහී යන බැවින් ඉන් සාසන ආයුෂ කෙටි වේ.)
… අධර්මවාදීන් වර්ධනය වේ
- දෙපක්ෂයෙන්ම දහම් අසන්නට යැයි ශ්‍රාවකයා වෙත පැනවූ බුද්ධ ආඥාවට බාධා කිරීම.
ඔබලා අසවල් භික්ෂූන්ගෙන් දහම් අසන්නට එපා. අපගෙන් දහම් අසන්න. අප ධර්මවාදීන් යැයි යම් භික්ෂූන් කණ්ඩායමක් පවසයි.
එය “දෙපක්ෂයෙන්ම දම් අසන්නට යැයි” යනුවෙන් ශ්‍රාවකයනට පැනවූ බුද්ධ ආඥාවට අනිසි ලෙස අත පොවා සිදුකරන ද්‍රෝහීකමකි. දහම් අසන්නට ශ්‍රාවකයින්ට දුන් නිදහස මඩින්නට යන භික්ෂූන් තථාගතයන් වහන්සේ තම ශ්‍රාවකයන්ට පණවන ලද්ද නො පණවන ලද්ද ලෙසත්, නො පණවන ලද්ද පණවන ලද්දක් ලෙසටත් වදාළ දේ නොවදාළ දේ ලෙසටත් දක්වන්නට ගොස් තවද අධර්මවාදීන් බවට පත්වේ.
සාසන ආයුෂය පැවැත්ම සඳහා නිදහසේ ගලා ගිය බුද්ධ ආඥා චක්‍රයට අනිසි ලෙස බාධා පමුණුවා සාසන ආයුෂය පිරිහවීමේ මහා සාවද්‍ය පාපයට අත ගසා සාසන ද්‍රෝහීන් බවට පත්වේ..
- එවිට දෙපක්ෂයේම දම් අසන්නට යැයි පැනවූ බුද්ධ ආඥාවට බාධා වීමෙන් අධර්මවාදීන්ගේ බස අසා ඊට අනුව යන ශ්‍රාවකයන් දෘෂ්ටිගත වී අධර්මවාදයට පැමිණේ. අධර්ම වාදයම වැඩේ. ධර්මවාදී භික්ෂූන්ගේ දහම් නොඅසයි. ඒ නිසා ධර්මවාදයට නොපැමිණේ. (ඉන් ධර්මවාදීන්ගේ වර්ධනය පිරිහී යන බැවින් ඉන් සාසන ආයුෂ කෙටි වේ.)
- ශ්‍රාවකයින්ද දෙපක්ෂයකට බෙදේ. එකිනෙකා අතර ගැටේ. එකිනෙකාට සවන් නොදේ. එනිසා අධර්මවාදී වූ ශ්‍රාවකයන්ට ධර්මවාදී ශ්‍රාවකයන්ගේ ලබ්ධිය කරා එළැඹීමට නොහැකි වේ. (ඉන් ධර්මවාදීන්ගේ වර්ධනය පිරිහී යන බැවින් ඉන් සාසන ආයුෂ කෙටි වේ.)
තවද දෙපක්ෂයටම භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂු සංඝයා ලෙස සමව දන් දිය යුතු යැයි පැනවූ ආඥාවද මෙතැනින් බිඳී සංඝ නානාත්වයක් ඇති වී විවිධ විෂමතා නැගේ.
ඉහත දැක්වූ විනය දේශනාව බිඳීම හේතුවෙන් වර්තමානයේ සාසනය මේ දක්වා පිරිහී ඇත.
… සිහිකරන විටත් සිත තැතිගනිමින් ගත කිළිපොලා යන බුද්ධ ආඥාව අවලංගු කිරීමේ දරුණු පාපකර්මය
නමුත් දැන් සිදුවන්නට යන්නේ සාසන ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ ශාස්තෘ ද්‍රෝහී හා සාසන ද්‍රෝහී විනය බිඳීමකි. එනම් තථාගතයන් වහන්සේගේ විනය ආඥාව තම තමන්ද ප්‍රසිද්ධියේ බිඳ හැර දමා තථාගත විනය ආඥාව පිළිපදිනා සෙසු ගිහි පැවිදි පිරිසටද “එය නොපිළිපදිව් මෙය පිළිපදිවු” යැයි විධාන දීම සඳහාත්, එම විධාන පිළිනොගන්නා පිරිස අධිකරණය වෙත පමුණුවා දඩ ගසා හිරේ විලංගුවේ දමා හිංසන පැමිණවීම සඳහාත්, අවශ්‍ය රාජ්‍ය නීතියක් ගෙන ඒමයි.
එනම් මා පෙර සඳහන් කළ ශාස්තෘ ඝාතක විනය විරෝධී ත්‍රිපිටක පනත ගෙන ඒමයි. මෙම පනතේ බලයෙන් බුදුන්ගේ විනය ආඥාවට පයින් ගසා එළවා දමා මෙම පාපී භික්ෂු කොටසට බුද්ධ සාසනයට විධාන දීමේ බලය අතට දෙයි.
එවිට බුද්ධ සාසනයේ බුදුන්ගේ ආඥාව නොමැත. එහි ඇත්තේ මෙම පාපී භික්ෂූන්ගේ විධානයයි. එහිදී කවුරුන් දේශනා කල යුතුද, කාගෙන් දහම් ඇසිය යුතුදැයි කියා විධාන දෙන්නේ මෙම ශාස්තෘද්‍රෝහී භික්ෂූන් විසින්ය.
... දැන්වත් සිතනු මැන
සාසනය රකින්නට කියා ශාස්තෘද්‍රෝහී මෙම අන්ධ බාල භික්ෂු කණ්ඩායම සාසන ආයුෂය පිරිහවීම නැමැති අට මහා නරකයට ඇදවැටෙන පාප කර්මයෙන් මුදාගැනීම සඳහා උපන් දයාව හේතුවෙන් ඔවුනට උපේක්ෂාවෙන් සිහි කරන්නට මෙසේ අවවාදයන් දෙන්නෙමි.
- පැවිදි බව යනු කඩු මුවහතක් මත සක්මන් කරනවා වැන්නක් බව ශාස්තෘන් වහන්සේ දෙසා ඇති බව අමතකව ගොසින්ද?
- එම කඩු මුවහත යනු පැනවූ විනය බව අමතකව ගොසින්ද?
- ඉහත මා පෙන්වා දුන් බුද්ධ ආඥාව නිදහසේ පිළිපදින්නට මුළු මහත් දේශයකට අහිමි කිරීම යනු පිරිසිදු ථේරවාදයද?
- “ආනන්ඳය මාගේ ඇවෑමෙන් ඔබලාට ධර්ම විනය ශාස්තෘ වන්නේය”. මෙම බුදු වදන් අමතකව ගොසින්ද?
- ධර්ම විනය සාස්තෘත්වය නම් ඉහත විනය පිටක දේශනාව යනු උත්තරීතර සාස්තෘත්වය බව තවදුරටත් අමතකව ගොසින්ද? ඒ යටතේ ශික්ෂණය වන්නට මෙම ආචාර්‍ය මහාචාර්‍ය භික්ෂූන්ට ලැජ්ජාවක් ඉපදී ඇත්ද?
- වත්මන් ගැටළුවට එම සාස්තෘත්වය සපයා ඇති පෙරදැක්වූ මග පෙන්වීම ඉක්මවා ගොස් නීච ලෙස ඊට ද්‍රෝහිකම් කොට නව මගපෙන්වීම් සාස්තෘන් වහන්සේලා ලෙසට පත්වී සාසනය තුලට බලහත්කාරයෙන් සපයන්නට යන්නේ කාගේ අවසරයෙන්ද?
- ආනන්ඳය මාගේ ඇවෑමෙන් ඔබලාට ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය ශාස්තෘ වන්නේ යැයි යම් තැනක බුදුහු දෙසා ඇත්ද?
- සංඝයා යනු ධර්ම-විනය නම් ශාස්තෘන් වහන්සේ යටතේ සමාදන්වී එහි සරණ යන්නන් බව අමතකද?
- ශාස්තෘත්වය යටතේ හිඳ එය ගෞරවයෙන් පිළිපැදීම පසෙකලා, ශාස්තෘත්වයට පයින් ගසා පන්නා දමා තම අභිමතය පරිදි සාසනය මෙහෙයවන්නට යන්නේ මාරාවේශයෙන්ද? සාසනය මෙහෙය වෙන්නේ ධර්ම විනය නම් ශාස්තෘත්වය යටතේ බවත්, එය පුද්ගලයන්ට මෙහෙය වන්නට අතටදී නොමැති බවත්, දැන දැනම අතට ගෙන සාසනය මෙහෙයවන්නට යන්නේ දේවදත්ත නිකායක් සාසනය තුල නැවත බිහිකරන්නටද?
ශාස්තෘන් වහන්සේට පමණක් දෙවැනි වූ උග්‍ර ප්‍රඥා ඇති අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පවා යටත් වූ ධර්ම විනය නැමැති දැරිය නොහැකි ඒ මහා බුද්ධ ආඥාවට නිදහසේ ගලා යන්නට ඉඩ නොදී ඊට බාධා කරන්නට ගොස්
“යටවී නැසී පොඩිවී අළු දුහුවිලි වන්නට පෙර මෙම සංඝරාජි පාපයෙන් මිදී ආයති සංවරයෙහි පිහිටා පසුපස නොබලාම මින් පළා යවු!”.
රාජ්‍ය නායකයින්ට ලබා දෙන පණිවිඩයයි;
… සාසනයේ රජු බුදු රජුය!!!. පටලවාගන්න එපා!!! නිකරුනේ අපාගත වෙන්න එපා!!!
- අරහත් ඵලය ලැබීමට හේතු ගෙන ඉපදුනු අජාසත්ත කුමාරයාව නරකයකට ඇද දැමීමට හේතුවන පරිදි ඔහු අතින් මහා පාප කටයුතු සිදු කරවුයේ කවරෙක්දැයි කියා ඔබතුමන්ලා මනාකොට සිහිකරගනිත්වා..!
- ඔබතුමන්ලා බුද්ධ සාසනය යනු කෙතරම් ගැඹුරු බරපතල සංකීර්ණ විෂයයක් දැයි නොදන්නාකම පිළිබඳව කණගාටුයි. නමුත් ඊට කම් නැත, සාසනයේ රජු බුදු රජුය. සාසන පැවැත්මට තුන් කලට නීති දමා බුදු රජු විසින් බුදු අණ මුදාහැර ඇත. එම නීති මාලාව පරිපුර්ණව විනය පිටකයෙහි ඇත. පර නීතිවලින් බුදුරජුගේ එම නීතිමය අණ පනත යට කරන්නට ගොස් නිකරුනේ අටමහා නරකයට වදින්නට නොයා සාසන ආයුෂ පිරිහවීමට පැමිණි මෙම මාරාවේශ වූ භික්ෂූන්ගේ ප්‍රයත්නය වළකා සාසන ආයුෂය සුරක්ෂිත කරනා මහා පින්කම සියතින්ම සිදු කරවාගෙන සාසනමාමක දේවතාවන් ලෙස දෙව් ලොව වඩින්නට කරුණු සලසා ගනිත්වා.!
… සිවුරු දරා මෙහෙයවන මාරයා ගේ මර උගුලේ අනාගත බය
ඉහත බුද්ධ ආඥාවට පයින් ගසා ඉවතට ඇද දමා හෝ තම ආඥාව සාසනය තුළ පැතිර වීම සඳහා උපන් පාපී චේතනාවෙන් යුක්තව අධර්මවාදීත්වයේ උපරිමයටම පැමිණි මෙම භික්ෂූන් පිරිසට යම් හෙයකින් මෙම නීච පනතින් සාසනයේ බලය ලැබ දුන්නොත් එයින් බුද්ධ සාසනය විනාශ මුඛයට ඇද වැටෙනා බව අවධාරණය කරමි.
මොවුන් විසින් තථාගතයන් වහන්සේ පැනවූ විනය අවිනයට පත් කළ පසු සාසන පරිහානිය සඳහා ක්‍රියාත්මක වන අවිනය චක්‍රය දැක අනාගත බිය දනවන්නට මා මෙසේ ලියා තබමි.
… මහා සාවද්‍ය පාපකර්මයට කොටු වී රජු දැවේ, රට දැවේ, රටවැසියා දුකෙන් දැවේ
සාසන විනයට අනුව මොවුන් දැන් අධර්මවාදී සාසන ද්‍රෝහීන්ය.
1.
දෙපක්ෂයටම දහම් දෙසන්නට ශාස්තෘන් වහන්සේ ලබාදුන් නිදහස රාජ්‍ය බලය යොදා අහුරයි. දෙපක්ෂයකට දම් දෙසුම් ඉන් පසු නොමැත. එනිසා පළමු ආඥා චක්‍රයට රාජ්‍ය බලයෙන්ම බාධා පැමිණේ. එනිසා රජුද බුදු අණට බාධා කරනා මහා සාවද්‍ය පාපකර්මයට කොටු වී අධර්මවාදී වූ මොවුනද කොටුවී උපරිමයෙන් දැවේ. රජු දැවෙනා හෙයින් රටද දැවේ. රට දැවෙනා හෙයින් රට වැසියෝද දුකෙන් දැවෙනු ඇත.
තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද පිළිපැදීමට රාජ්‍ය බලයෙන් බාධා කරමින්, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද පිළිපැදීමට රාජ්‍ය බලයෙන් බාධා කරමින්, පැනවූ විනය පිළිපැදීමට රාජ්‍ය බලයෙන් බාධා කරමින් අධර්මවාදී සාසනද්‍රෝහීන් බවට පත්වේ.
අධර්මවාදී ලබ්ධිය ඇති දෙසුම් පමණක් ඇසෙනා හෙයින් ධර්මවාදය නොඇසේ. ධර්මවාදය නොඇසෙනා හෙයින් අධර්මවාදී දෙසන්නන් ඉන් මිදී ධර්මවාදයට නොපැමිණේ. සසුනේ අධර්මවාදය වැඩේ. ධර්මවාදය යටවී යයි.(ඉන් සාසන ආයුෂය පිරිහේ.)
2.
දෙපක්ෂයෙන්ම දහම් අසවු යනුවෙන් ශ්‍රාවකයනට පැණ වූ බුද්ධ ආඥාවට රාජ්‍ය බලයෙන් බාධා කර ඇත. එනිසා රජුද ඊට යට වේ. අධර්මවාදී සාසනද්‍රෝහී මොවුනද ඊට යට වේ. උග්‍ර පාපයක් නැගේ. රජු දැවෙනා හෙයින් රට දැවේ. රට දැවෙනා හෙයින් රටවැසියෝ දුකින් දැවෙනු ඇත.
තථාගතයන් වහන්සේ ශ්‍රාවකයින්ට පනවන ලද බුද්ධ ආඥාව පිළිපැදීමට රාජ්‍ය බලයෙන් බාධා කරමින්, තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයින්ට වදාරණ ලද්ද පිළිපැදීමට රාජ්‍ය බලයෙන් බාධා කරමින්, තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයින්ට පැනවූ විනය පිළිපැදීමට රාජ්‍ය බලයෙන් බාධා කරමින් තවද උග්‍ර අධර්මවාදීන් බවට පත්වේ.
… ධර්මවාදය යටපත් වේ
දෙපක්ෂයක දම් නොඇසේ. අධර්මවාදී ලබ්ධිය ඇති දහම් පමණක් ඇසේ. එනිසා ධර්මවාදය අසන්නට ශ්‍රාවකයින්ට ඉඩ ඇහිරේ. ධර්මවාදී ශ්‍රාවකයන්ගේ සසුන තුළ ගහණය පිරිහේ. අධර්මවාදී ලබ්ධිය ඇති දෙසුමන් ඇසෙනා හෙයින් එම ලබ්ධිය ඇති ශ්‍රාවකයන් පහළ වේ. අධර්මවාදී ලබ්ධිය ඇති ශ්‍රාවකයන්ගෙන් ගහණය වර්ධනය වේ. ධර්මවාදී දෙසුමන් නොඇසෙනා හෙයින් ධර්මවාදයට නොපැමිණේ. ධර්මවාදය යටවේ. (ඉන් ධර්මවාදීන්ගේ වර්ධනය පිරිහී යන බැවින් ඉන් සාසන ආයුෂ කෙටි වේ.)
… භික්ෂු සමගිය පිරීහී විනය බිදී සාසන විෂමතාවකට පැමිණේ
ඉහත ආකාරයට අධර්මවාදය නිසා භික්ෂු සමගිය පිරීහී විනය බිදී සාසන විෂමතාවකට පැමිණේ. (ඉන් ධර්මවාදීන්ගේ වර්ධනය පිරිහී යන බැවින් ඉන් සාසන ආයුෂ කෙටි වේ.)
… තම අභිමතය පරිදි විනය ආඥා බිඳින දේවදත්ත නිකායේ පරම අසත්පුරුෂයෝ
එසේ සසුන විනාශ මුඛයට ඇද දැමීමට මාරාවේශයෙන් පැමිණි මෙම භික්ෂු කණ්ඩායම විසින්
- තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද භික්ෂූන් ලෙස හිඳිමින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කිරීම
- සමස්ත භික්ෂු සමාජයට එම වැරදි ආදර්ශය පැතිරවීම හා ඊට පෙළඹ වීම
- තථාගතයන් වහන්සේ විසින් පැනවු විනය භික්ෂූන් ලෙස හිඳිමින් ප්‍රසිද්ධියේ ම බිඳ හැරීම
- සමස්ත භික්ෂු සමාජයටම එම වැරදි ආදර්ශය පැතිරවීම හා ඊට පෙළඹවීම
- තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්දක් පැනවීමට ප්‍රසිද්ධියේම උත්සාහ කිරීම
- සමස්ත භික්ෂු සමාජයටම එම වැරදි ආදර්ශය පැතිරවීම හා ඊට පෙළඹවීම
- තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද භික්ෂූන් ලෙසට සිටිමින් බිඳ හැරීම
- සමස්ත භික්ෂු සමාජයට ම එම වැරදි ආදර්ශය පැතිරවීම හා ඊට පෙළඹවීම
- තතාගථයන් වහන්සේ විසින් සිව්වනක් පිරිසටම වදාරන ලද්ද, තතාගථයන් වහන්සේ විසින් සිව්වනක් පිරිසටම පනවන ලද්ද, පිළිපැදීමට රාජ්‍ය නීතියක් යොදා බාධා කිරීමට කුමන්ත්‍රණය කිරීම
- තථාගත ආඥාව සාසනයෙන් ඉවතට ඇද දමා තමන්ගේ මණ්ඩලයේ ශාස්තෘද්‍රෝහී විධාන සාසනය තුළ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය බලය යොදාගෙන කුමන්ත්‍රණය කරමින් තථාගතයන් වහන්සේට ද්‍රෝහී වීම, ධර්ම විනයට ද්‍රෝහිවීම, සිව්වනක් පිරිසට ද්‍රෝහී වීම.
යන දේවදත්ත නිකායේ පරම අසත්පුරුෂවාදී අට මහා නරකයට ඇද වැටෙන පාප කර්ම ජාලාවකට කොටු වී ඇත.
… එපා තැන හිරකරන්නටත් ඕනෑ තැන ලිහිල් කරන්නටත් සාසනය අම්මා අප්පාගේ බූදලයක් නොවේ
මොවුන් පොරබදන්නේ නිදහසේ සාසනය පුරා ගලාගිය බුද්ධ ආඥාවේ බලය පරනීතියකින් පුද්ගල මණ්ඩලයක් අතට ගෙන එය අවභාවිතා කරමින් මොවුනට ඕනෑ තැන් හිර කරන්නටත් මොවුනට ඕනෑ තැන් ලිහිල් කරන්නටත්ය. එය එසේම සිදුවනු ඇත. මක්නිසාදයත් මොවුන් දැනටමත් පරම අසත්පුරුෂයන් බවට ධර්ම විනයට අනුව ඔප්පුවී අවසන් නිසාවෙනි. "අපි හොඳයි" යැයි කියන්නට දැන් මොවුනට නොහැකිය. මෙවනි අසත්පුරුෂයන්ට තබා සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්‍යප නම් මහ තෙරුන් වහන්සේලා වැනි අහස පොළොව නුහුලනා ගුණ දැරූ අතිශ්‍රේෂ්ඨයන්ටවත් තථාගත සාසනයේ පාලන බලය අතට භාරදුන්නේ නැත. උන්වහන්සේලාද වැඩ සිටියේ ධර්ම විනයේ පාලන බලයට යටත්වය.
… සාස්තෘ වහන්සේ විසින් සාසනය මෙහෙයවීමේ බලය කිසිවෙකුට පවරා නැත
සාස්තෘවහන්සේ විසින් සාසනය මෙහෙයවීමේ බලය කිසිදු පුද්ගලභාවයකට නොපවරා ධර්ම විනයට පවරා ඊට සියල්ලන් යටත් කොට තැබුවේ මෙවැනි අන්ධ බාල සාසනද්‍රෝහී භික්ෂූන් අතට එම බලය පත්වුව හොත් ඔවුන්ගේ කෙලෙස්වලින් මිරිකී ගිය නීච සිත්වල අභිරුචිය පරිදි සාසනය පාලනය කරන්නට යොදාගන්නා බව බුදු ඇසින්ම දුටු හෙයින්ය. තථාගතයන් වහන්සේගේ අනාගතංශ ඥානයේ ඇති ආශ්චර්‍යමත් බව සනාත වන අවස්ථාවක් ලෙසට මෙම ශාස්තෘද්‍රෝහී භික්ෂූන්ගේ සාසන භක්ෂක වත්මන් ප්‍රයත්නය දැක්විය හැකිය.
… අමතර පණ්ඩිතකම් එපා !!! බුදු අණ සර්වකාලීනයි !!!
ධර්මය වරදවා ගෙන දේශනා කරනවුන් නිසා සාසනය කිසිදා පිරිහී නොයයි. එසේ සිතෙනවානම් එය අපගේ සිතළුවක් මිස තථාගතයන් වහන්සේගේ අදහසක් නොවේ, මන්ද වරදවා දෙසන්නන් අතරින් ඇතමුන් ගිහියන් ලෙසද දේශනා කරයි. නමුත් තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ සාසනය පිරිහී යන්නේ අභ්‍යන්තරයේම පැවිදි වූ විනය භක්ෂක භික්ෂූන් අතින් බවයි. එය පහදා දීමට, "යකඩය දිරාපත් වන්නේ බාහිර දෙයකින් නොව යකඩය තුලම හටගන්නා මළකඩ හේතුවෙන් බව" උපමාවක් ලෙස පෙන්වා සාස්තෘන් වහන්සේ විසින් වදාරා ඇත. එම කාරණාව පිළිබඳව සියල්ලෝම දැඩිලෙස අවධානය යොමුකල යුතුයි. මන්ද තථාගතයන් වහන්සේ වදාළ කාරණාවක් කිසිදා වෙනස්වන්නේ නැත. ඒවා ඒකාන්තය. සාසනය රකින්නට කියා ඒවාට පිටින් ගොස් අමතර පණ්ඩිතකම් කරන්නට කිසිදු හේතුවක් නොමැත. යමෙකු කරනවානම් ඉන් සිදුවන්නේ ඉහත භික්ෂූන්ට සිදුවූ වින්නැහිය බව මනාව දැකගත යුතුයි. එනිසා සාසන ආයුෂය රැකෙනා ආකාරය පිළිබඳව පෙන්වන තථාගතයන් වහන්සේගේ ඒකාන්ත වචනයන් වන " විනයෝනාම සාසනස්ස ආයූ" යන උත්තරීතර සත්‍ය වචනයන් මා මෙම ලිපියෙහි බොහෝ තැන්හි සඳහන් කළෙමි.
… මෙම නීච පාප කර්මය අනුමෝදන් වන සියල්ලන් ඉන් මිදෙත්වා
ත්‍රිපිටකය දැනටමත් ජාතික උරුමයක් කර හමාරය. එනිසා ත්‍රිපිටකය සුරක්ෂිතව ඇත. එසේ සුරක්ෂිතව ඇති ත්‍රිපිටකය සංරක්ෂණය කරනවා කියා මතුපිටින් සැවොම රවටා ඇතුළතින් සසුනේ මූලික විනයද වනසා දමා අවිනය සසුන තුළට බලහත්කාරයෙන් වද්දන්නට රාජ්‍ය බලය යොදන මොවුනට ගිහියන් ලෙස උරදෙන, පැවිද්දන් ලෙස උර දෙන හා මෙම නීච පාප කර්මය පුණ්‍යකර්මයක් ලෙස මුලා වී අනුමෝදන් වන සියල්ලන් මින් මිදෙත්වා. වහ වහා මිදී ආයති සංවරයෙහි පිහිටවා.
… මාගේ දේශය සිසාරා වැඩසිටින ශාස්තෘ ගරුක මහා සංඝරත්නය මෙම ශාස්තෘ ඝාතක විනය විරෝධී ක්‍රියාව පරාජය කිරීමට නැගී සිටිය යුතුය. හොදින් කියවන්න
මාගේ දේශය සිසාරා වැඩසිටින ශාස්තෘ ගරුක මහා සංඝරත්නය මෙම ශාස්තෘ ඝාතක විනය විරෝධී ක්‍රියාව පරාජය කිරීමට නැගී සිටිය යුතුයි. ඔබ වහන්සේලා සියල්ල අතහැර පැවිදි බව ලැබුවේ විනය පිටකයේ බුද්ධ ආඥාව යටතේ පැවිදි දිවිය ගත කිරීමටද නැතහොත් මෙවැනි විනය බිඳගත් අධර්මවාදී දේවදත්ත නිකායේ අසත්පුරුෂ භික්ෂූන්ගේ ආඥාව යටතේ දිවි ගෙවන්නද?
බුද්ධ සාසනයට කිසිදු පර පනතක් අවශ්‍ය නැත. පර පනතකින් අනුන්ගේ ආඥා පිළිපැදීමට සංඝයා යටත් නොවිය යුතුය. ශාස්තෘන් වහන්සේගේ විනය පිටකය නමැති ආඥාව සාසනය රැකගැනීමට තුන් කලට පනවා ඇත. සංඝයා ඒ යටතේ වැඩ හිඳියි. එය බිඳ දමා පර විනයක් යොදා ශාස්තෘත්වය පැහැර ගැනීමට කිසිවකුට ඉඩ දිය නොහැක.
අධර්මයක් දුටු තැන ධර්මයෙන් කරුණු පෙන්වා ධර්මය නගා සිටුවීමටත්, අවිනයක් දුටුතැන විනයෙන් කරුණු පෙන්වා විනය නගා සිටුවීමටත් දක්ෂ ශ්‍රාවකයන් පහළවන තුරු මාගේ පිරිනිවන සිදු නොවනා බව මාර දිව්‍ය පුත්‍රයාට ශාස්තෘන් වහන්සේ විසින් වදාළ බව මෙම දේශයේ මහා සංඝයාට අමතකව ගොසින්ද?
ධර්ම විනය රැක ගැනීම නුවණැති සංඝයාගේ වගකීම බව ශාස්තෘන් වහන්සේ මෙසේ සෘජුව පෙන්වාදී ඇති කළ, ශාස්තෘන් වහන්සේ විසින් පැන වූ ධර්මය බිඳ දැමීමට පැනවූ විනය බිඳ දැමීමට රාජ්‍ය මට්ටමින් රහසේම කටයුතු සිදුවෙමින් පවතින මේ මොහොතේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස අප මෙම පාපී කුමන්ත්‍රණය පරාජය කොට ධර්ම විනය නගා සිටුවිය යුතුයි. නැතහොත් බුද්ධ චීවරයටද එය නිගාවකි.
මා මේ පෙන්වා දෙන්නේ ධර්මවාදීව විනයවාදීව විරෝධය නගන්නටමිස කලහාකාරී ලෙස අවිනීතව හැසිරෙන්නට නොවේ. මා පවසන්නේ මහ නායක හිමිපාණන් වහන්සේලාට ලිපි මගින් හෝ වෙනත් මාර්ගයන්ගෙන් මෙම මහා සාසනද්‍රෝහී ක්‍රියාව වහා දන්වමින් මෙය මැඩලීමට උන්වහන්සේලාව මැදිහත් කරවීමට ධර්මධර විනයධර සංඝයා ලෙස පෙරට එන්නට කියායි.
මෙම සාසන විරෝධී ක්‍රියාවේදී මාගේ ශ්‍රාවක වගකීම මා විසින් ධර්ම විනය දක්වා ඉටු කළ අතර තවදුරටත් ඉටු කරමි.
මෙම ලිපියේ ඇති කරුණු ගෙන ගම් දනව් දැනුවත් කරමින් සංඝ සභා දැනුවත් කරමින් මීට එරෙහිව ක්‍රියාත්මක විය යුතුයි. ජනපතිට ලිපි මගින් හෝ මේ පිළිබඳව විරෝධය දැක්විය යුතුයි. දැවැන්ත විරෝධයක් ගෙනෙමින් මෙම සාසනද්‍රෝහී විනය විරෝධී ක්‍රියාව මර්දනය කල යුතුයි.
ඉහත කී සාසනද්‍රෝහී භික්ෂූන් සමග පවතින හිතවත්කම් ඔවුන්ගෙන් ලැබෙන වරදාන පසෙකලා ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ රැකගැනීමේ තම ශ්‍රාවක වගකීම ඉටුකල යුතුයි. නිදහසේ ගලායන බුද්ධ ආඥාව යටතේ දිවි ගෙවනවා මිස කිසිවකුගේ අතට එය පත්කර ඊට යටත්වී නිවටයන්සේ බලාසිටීම සාසනගරුක බව නොවේ.
… ශාස්තෘත්වයට ද්‍රෝහී වී එය අතට ගැනීම නැමති සාසන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොකල මහා සාසන විලෝපණ පාපකර්මයට භික්ෂූන් ලෙස කොටු වී සිටින ඔබ වහන්සේලාට
එතෙක් මෙතෙක් සාසනය තුළ සිදු නොවුණු මෙම බලවත් සාසන විලෝපණ පාපකර්මයට භික්ෂූන් ලෙස කොටු වී සිටින ශාස්තෘද්‍රෝහීත්වයට පැමිණි ඔබ වහන්සේලාගේ ආයති සංවරික ප්‍රයෝජනය සඳහා තවදුරටත් පෙන්වා දීමක් කරන්නෙමි.
… නොපැනවූවක් පැනවීමට මෙසේ අරඅදින්නේ කිම
- සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටින කල්හි පවා පැන නැගුනු මෙම ගැටළුව පිළිබඳව බුදුරදුන්ගේ පැනවීම එය නම් එය ඉක්මවා තුන්කල් බලා පැනවූ බුදු අණ සිඳීමට මෙසේ අරඅදින්නේ කිම?
- නොපැනවූවක් පැනවීමට මෙසේ අරඅදින්නේ කිම?
- පනවනවානම් ශාස්තෘන්වහන්සේගේ සර්වඥතා ඥානයද ඉක්මවා ගිය කෙරුම්කාර භික්ෂූන් මෙහි සිටිය යුතු නොවේද?
… මේ ධර්ම කැඩපතයි. මේ පෙනෙන්නේ ඔබේ රුවයි
පැනවූ ධර්මය ප්‍රතික්ෂේප කොට නීච ලෙස එය බිඳ ඔබ වහන්සේලා ධර්මධර යයි කියයි. බුදුන්ටත් අකීකරු වී දඩබ්බර කම් කරමින් ඔබවහන්සේලා විනයධර යයි කියයි. සුපේෂල ශික්ෂාකාමී සඟරුවන ලෙස සංවර වචනයෙන් තම කණ්ඩායම හඳුන්වා දෙයි. ඔබ වහන්සේලාගේ ශික්ෂාකාමීත්වයේ ආශ්චර්ය මා ඉදිරියට ලියා පෙන්වා දෙමි.
පාපයට ලැජ්ජා ඇති, බිය ඇති, බිඳුවක් හෝ ශාස්තෘ ගෞරවය ඇති භික්ෂූන් මෙහි සිටීනම් මෙවැනි දෑ සිදුකරනවා තබා අට මහ නරකයට වැටෙන සුළු මෙබඳු උග්‍ර පාපකර්මයන් පිළිබඳව සිහිකරන විටත් ඔවුනගේ හදවත් බියෙන් තැති ගනු ඇත. මෙසේ ධර්ම විනය කිසිදා නොබිදිනු ඇත, කිසිදා එයට ද්‍රෝහි නොවනු ඇත.
සිල්වත් ගුණවත් මහ සඝරුවන තුළ ඇති ශාස්තෘගරුක බව නොදන්නා ඔබවහන්සේලා කෙරෙහි තවද මා තුළ ඇති කම්පා දයාවෙන් මෙසේ සිහි කැඳවමි.
… ප්‍රථම ධර්ම සංඝායනාවෙහි වැඩසිටි මහ රහතුන් වහන්සේලාටත් වඩා ඉහළද…?
ඛුද්දානුඛුද්ද ශික්ෂා සුදුසු කලෙක සංඝයාගේ අනුමැතියෙන් යුතුව අවැසිනම් වෙනස් කරගත හැක යන්න අනඳ තෙරුන්හට ශාස්තෘවහන්සේ විසින් දෙසා වදාරන ලද අවස්ථාව සිහිපත් කර ගනු මැනවි. එහිදී අනඳ තෙරුන්හට ඛුද්දානුඛුද්ද ශික්ෂා පද මොනවාදැයි ශාස්තෘන්වහන්සේගේ පිරිනිවීමට පෙර අසා දරාගැනීමට අතපසු විය. එම කරුණෙහි අනඳ තෙරුන්හට චෝදනාවක් එල්ල වූ නමුත් ප්‍රථම ධර්ම සංඝායනාවෙහි මහ තෙරුන් වහන්සේලා විසින් ඛුද්දානුඛුද්ද ශික්ෂා මොනවාදැයි තෝරා පැනවීමට උත්සුක වුයේ නැත. එසේ උත්සුක නොවූයේ ඒ සඳහා උන්වහන්සේලාද කිසිසේත් සුදුසු නොවන බව නුවණින්ම දක්නා ලද හෙයින් බව ඔබවහන්සේලා මනාව අවධාරණය කර ගත යුතුයි. අවසානයේ සංඝයා අතර සම්මත කරගත් තීරණය වුයේ ශාස්තෘන්වහන්සේ විසින්
“පැනවූවක් කිසිසේත්ම නොබිදිමි”
“නොපැනවූවක් කිසිසේත්ම නොපණවමි”
යන අතිශය ශාස්තෘගරුක එකගතාවයයි.
… බුදුන් වහන්සේ ඔබවහන්සේලාට වෙනම ධර්ම විනයක් දේශනා කලාද...?
ඇතැම් විට මහා කාශ්‍යප තෙරුන් ප්‍රමුඛ රහතුන්ද ඉක්මවා ගිය ඔබ වහන්සේලාගේ උග්‍ර ප්‍රඥාව දැක ඔබවහන්සේලාට පමණක් බුදූහු රහසේම ධර්ම විනය වෙනස් කරගැනීමට අනුමැතිය ලබාදී ඇත්දැයි කියා, හාස්‍ය ජනක සැකයක් මෙහිදී පැන නැගී ඇති බව මා පිළිකුල් සහගතව දන්වමි. විනයේ ඛුද්දානුඛුද්ද ශික්ෂා කොතැනක ගැබ්ව ඇතත් ඒවාද සමග සූත්‍ර අභිධර්ම විනයෙහි අන්තර්ගත සියලු ශාස්තෘ පැනවීම් අද වනතෙක් පළුදු වන්නට ඉඩ නොදී සංඝයා දිවිහිමියෙන් යුතුව රැගෙනවිත් ඇත. මෙතෙක් සුරැකී රැගෙන ආ මහා සඝරුවනේ ශාස්තෘ ගරුක එකඟතාවයද බිඳ වර්තමාන ධර්ම විකෘතික ගැටළුවට කෙසේ පිළිපැදිය යුතු ද යන්න පෙන්වා දී පැනවූ බුද්ධ ආඥාව ඉක්මවා අමු අමුවේම එය බිඳිමින් සුදනන්වන්නට නොහැකි බව අවධාරණය කරමි.
… අපිට කොරහක් ලෙස සුළු කොට දක්වන්න එපා, ඔය ලෝදිය සයුරක් !
සර්වඥ බුදුහුගේ දෙසුමෙන් පනවා ඇති අණ සිඳ බිඳ ලෑම යන්න 'කොරහක් ' ලෙස සුළුකොට පෙන්වා දෙන ඔබවහන්සේලා එහි 'කිඹුලන් ' නොමැති බව පුන පුනා කියයි. නමුත් මෙය ලෝදිය වලක් ලෙස ඔබවහන්සේලාට නොපෙනේ. පෙනෙන්නේ එහි කිඹුලන් ලෙස ඉපිද කෑ මොර දෙමින් පැසෙනා දිනට බව මනාකොට දකිනු මැනවි.
නිරයගාමී තැතිගන්නා සුළු දුක් විපාක ලැබීමෙහිලා ඔබවහන්සේලා දරන මෙම අන්ධ රුචිය පිළිබඳව හා මීට නොදැනුවත්කම නිසා සේසත් ඔසවන රාජ්‍ය නායකයන් මෙන්ම නකුටු වනා පසුපසවිත් නිරයට වැටෙනා සහචර පිරිසගේ පරලොව දිවිය පිළිබඳව කිලිපොලා යන අනුකම්පා සහගත හැගීමක් මා සිත තුළ ඇති බව මෙසේ දක්වමි.
… රාජ්‍ය මට්ටමින් උගුල් අටවා පාණාතිපාතා වේරමණී වෙන්න පුළුවන්ද...?
සුපේෂල ශික්ෂාකාමී යැයි කියාගන්නා ඔබ වහන්සේලා පාණාතිපාතා වේරමණී යනුවෙන් දිවා රෑ හඬ නගනමුත් එම සික පදයෙහි අරුත් බුදූහු මෙසේ දෙසා වදාරා ඇති බව මොහොතකට හෝ සිහිනොවන්නේද?
'ජීවිතාන්තයතෙක් ඒ රහතවහන්සේලා පරපණ නැසීමෙන් වෙන්ව, පරපණ නැසීම අතහැර, බහා තැබූ දඬු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් අවි ආයුධ ඇතිව, පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව සියලු ප්‍රාණභුතීන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්නේය'
ඉහත 'බහා තැබූ දැල් උගුල්' යන පදපෙල දෙස ශික්ෂාකාමී ඔබවහන්සේලාගේ අවධානය යොමු කරමි.හොදින් බලන්න. එය සිදුවනවානම් එය ප්‍රාණඝාත ශික්ෂාව ඍජුව බිඳීමක් බව දුටුවේද?
පුන්පොහෝදින පෙහෙවත් සමාදන් වන උපෝසථ පිරිස් පවා ඉහත කී ශික්ෂා පදය කිසිදු අඩුවකින් තොරව එලෙසම සමාදන් වී සුරකිනා බව සිහි කරනු මැනවි. උපසම්පදා සීලයක් දරා සිටින ඔබවහන්සේලා මෙසේ සෙස්සන් දඟගෙයි ලෑමට මනාකොට උගුල් අටවා දහමෙහි පළමු සික පදයම බිඳලමින් හිංසනයට පැමිණෙන්නේ සුපේෂල ශික්ෂාකාමී සඟරුවන යැයි සංවරව තවත් කියමින් ද?
… පාපය කිරීම රජුට පවරා අතපිසදා ගන්න පුලුවන්ද...?
පාපය කිරීම, කරවීම, අනුබලදීම, වර්ණනා කිරීම යන සතර කරුණින් පාපය කිරීම, කරවීම පමණක් රජුට පවරා ඔහුද පාපයට ඇද දමා අනුබලදීම, වර්ණනා කිරීම යන චීවරයට කිසිසේත් නොගැලපෙන පාපී කර්මයන් ශික්ෂාකාමී යැයි පවසන ඔබ වහන්සේලා අතින් පහසුවෙන් සිදු වන බව තවත් වැසුනේද?
… ධර්මය බිඳ, ධර්මය රකින්නට පුලුවන්ද...?
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධ සාසනං
සියලු පාපයන් නොකිරීම ශාස්තෘන් වහන්සේ විසින් පැන වූ මහා බුද්ධ ආඥාව බව සිහි තබා ගනු මැන. යමෙකින් එය බිඳෙනවා නම් එය බුද්ධ සාසනය නොව එය වෙනත් සාසනයකි. පුදුමයට කරුණක් නම් ධර්මය බිඳ ධර්මය රකින්නට නොහැකි බව ඔබ වහන්සේලාට නොපෙනීමයි.
අධර්මවාදීන් ලෙස සෙස්සන් මර්දනයට පෙර ගරු කටයුතු ඔබ වහන්සේලාද අධර්මය දරා සිටින අයුරු තවද මා පෙන්වමි.
… සැවොම රවටා ඔබ වහන්සේලාම ප්‍රාණඝාතය සසුනට ගෙන එයි
"පාණාතිපාතා භික්ඛවේ අධම්මෝ පාණාතිපාතා වේරමණී ධම්මෝ"
මහණෙනි ප්‍රාණඝාතය අධර්මයයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මයයි. මෙහි භික්කවේ යන ශාස්තෘන් වහන්සේගේ ආමන්ත්‍රණය නොඇසෙන්නේ මන්ද? සවන් බිහිරිව ඇත්ද?
මහණෙනි ප්‍රාණඝාතයෙන් වෙන්වව්. එය අධර්ම වාදයක් යැයි ශාස්තෘන්වහන්සේ පැහැදිලිව දෙසා තිබියදී ත්‍රිපිටකය රැකුමට කියා ත්‍රිපිටක දහම මෙසේ වනසමින් සැවොම රවටා ඔබ වහන්සේලාම ප්‍රාණඝාතය සසුනට ගෙන එයි. පරම අවිහිංසක සාසනය හිංසක සාසනයක් කරන්නට දත කයි. ඉන්පසු අප නොකළෝමයි රජු කරන්නේ යැයි ඇග බේරා ගන්නට යයි. අප සංවර යැයි සිල්වත් යැයි සෙස්සන්ට හඟවයි. සෙස්සන් අතර මෝඝ පුරුෂයන් ඊට රැවටේ. රැවටී අධර්මය සසුන්ගත කරවන්නට පැමිණෙයි. අධර්මය රැගෙන ධර්මය රකින්නට සැරසෙන බුදු අණ සුණු විසුණු කර බුදු අණ රකින්නට තනන, අධර්මයෙන් ධර්මය රකින්නට තනන සඟ සම්මත බිඳ වැදි සම්මත තනන ඔබ වහන්සේලා දැක "ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට" යනුවෙන් රට වැසියෝ අධෝ මුඛයෙන් සිනාසෙනු ඇත.
අනුන්ගේ අවවාදයට සුදුසු ඔබ වහන්සේලා අනුනට අවවාදය පිණිස මණ්ඩල තනන්නේ සිහිසුන්වද?
… මේ කිව්වෙ පොඩ්ඩයි !
පරියාප්තිය බිඳ පරියාප්තිය රැකුමට ඔබ වහන්සේලා දරණ මෙම අන්ධ උත්සාහය වෙත පරියාප්තිගත කරුණු තඩිබානා අපූරුව ඉදිරියේ දී මා ගෙන හැර දක්වමි. අද මේ තැබුවේ සැමට වැටහෙනා ප්‍රාථමික කරුණු තුළින් බිඳුවකි. පිළිතුරු දිය නොහැකිව මුඛයේ කෙල සිඳෙනා තැන් අපේක්ෂාවෙන් කල් ගත කරන මෙන් ධර්ම ගරුකව දන්වා සිටිමි.
… හණ ගසා සාසනයෙන් නෙරපූයේ භික්ෂූන්ද…? හොරුද…?
"ඉතිහාසයේ විවිධ පාලකයින් විසින් ධර්මය රැකුමට කටයුතු යෙදුවා යැයි" දුර්වල සටන් පාඨයක් ගෙන ඔබවහන්සේලා විසින් නිතරම කියනා බවක් මා දුටුව නමුත් එය සිදු කිරීමට ධර්මධර විනයධර සිවුපිළිසිඹියාපත් මහරහතුන්ද එකල වැඩ සිටි බවක් පිළිබඳව නිතර නොකියයි.
එම අවස්ථාවන් වලදී ඇතැම් භික්ෂූන් හණ ගසා සාසනයෙන් නෙරපූ බව ද ඔබවහන්සේලා කියයි. නමුත් එසේ නෙරපා හැරියේ බොහෝවිට පැවිදි නොවී හොරෙන් සිවුරු පොරවාගෙන සිවුර තුළ සැඟවී හිඳිමින් විවිධ සොරකම් හා රාජ්‍ය නීතියට විරෝධී කටයුතු සිදු කළ පුද්ගලයන් මිස පැවිද්දන් නොවන බව විස්තර සහිතව ප්‍රකාශ කිරීමට ඔබ වහන්සේලාගේ දිව මැලිකමක් දක්වන බවද පෙනේ.
… සටකපට ලෙස මෙම විනය විරෝධී ක්‍රියාව සමාජය තුළට සාධාරණීය කරගැනීමට මුසාවන්ද තෙපලමින් සමාජය රවටා ගන්නට දරන මෙම උත්සාහය පිළිකුල් සහගතය
සටකපට ලෙස මෙම විනය විරෝධී ක්‍රියාව සමාජය තුළට සාධාරණීකරණය කිරීමට මුසාවන්ද තෙපලමින් සමාජය රවටා ගන්නට දරණ මෙම උත්සාහය පිළිකුල් සහගතය. තවද ඉතිහාසයේ සංගායනාවන් සිදුකිරීමට සිව්පිළිසිඹියාපත් මහරහතුන්ද වැඩ සිටි බවත්, උන්වහන්සේලා කිසිසේත් ඉහත පෙන්වූ විනය දේශනාව බිඳගෙන කළ සංගායනාවක් නොමැති බවත්, කිව යුතුයි. එසේ වුවහොත් ඒවා සංගායනා නොව ඒවා විනය විරෝධී ක්‍රියාවන්ය. සිවුපිළිසිඹියාපත් මහරහතුන් යනු ඔබ වහන්සේලා වැනි නුවණ හීන විනය විරෝධී ශාස්තෘද්‍රෝහී භික්ෂූන් නොව ධර්ම විනය සම්පූර්ණ කළ උග්‍ර ප්‍රඥා ඇති උග්‍ර ධර්ම ඥාන ඇති ශ්‍රේෂ්ඨයන්ය.
කෙස් ගසක් හීයෙන් විද දෙපළු කරන්නා සුළු දක්ෂ දුනුවායන් වැනි සියුම් ඥාන ඇති උන්වහන්සේලා අනෙකාගේ දෝෂය සියුම් ලෙස ධර්ම විනයෙන් බෙදා දක්වමින් පෙන්වා ඔවුන්ගේ වැරදි ලබ්දිය බිඳ දමා ඔවුන් දමනය කොට ධර්මය රැක ගෙන ඇත. පරම පවිත්‍ර ගති පැවතුම් ඇති නික්ලේෂී බවේ ප්‍රති මූර්ති වැනි උන්වහන්සේලා එයට මනා සුදුස්සෝම වෙයි.
… මැස්සා මරන්නට ගොස් රජුට කෙටීම...
අද වන විට කෙස් ගසක් හීයෙන් දෙපළු කරනවා වැනි සියුම් ඥාන තබා කෙසෙල් ගසකට ගලකින් ගසා වනසා ගත නොහැකි තරම් වූ අඥාන තුළින් ධර්මය රකින්නට ගොස් අවසානයේ සිදුවන්නේ "මැස්සා මරන්නට ගොස් රජුට කෙටුවා" වැන්නක් බව කියනා අතරතුර මා පෙන්වා දුන් කරුණු තුළින් " මැස්සා මැරීමට" බුදු රජු තහනම් කර ඇති බව මනාව දුටුවද ඒවා නොතකමින් “ රජුට කොටා හෝ මැස්සා මරමු" යැයි තව දුරටත් සිතෙන්නේ නම් එවැනි සිත් "සුභද්ද" නම් භික්ෂුවටත් වඩා පහත් බවින් ශ්‍රේෂ්ඨත්වයට ළඟා වී ඇති බව කණගාටුවෙන් වුවද දැන් විය යුතුයි.
… කරවටක් මඩෙහි එරී ඇති දනන් ගොඩට එන මග සෙස්සන්ට කියා දීමට ගිය විට වන දේ...
"කරවටක් මඩෙහි එරී ඇති දනන් ගොඩට එන මග සෙස්සන්ට කියා දෙනවා" වැනි දම් දෙසුම් රැක ගන්නට නම් මෙබඳු ශාස්තෘද්‍රෝහී නීති රීති අණපනත් රටකට අත්‍යාවශ්‍යම බව කිව යුතුයි. නැතහොත් ඔබවහන්සේලාගේ නුවණැති ශ්‍රාවකයන් ක්‍රමයෙන් අස්ථානගත වෙයි.
නීතිරීති අණපනත් නොමැතිව ගෙවී ගිය පසු ගිය දසකයන් තුළ ශ්‍රාවකයන් ක්‍රමයෙන් අස්ථාන ගත වූ ආකාරය පිළිබඳව මා හට අටුවා ග්‍රන්ථ මාලාවක් ගෙන හැර දැක්විය හැකි නමුත් ඊට මෙතැන සුදුසු නැති බැවින්, හේතු ඵල දැක්වීම සඳහා ප්‍රාථමික කරුණු කිහිපයක් සැකෙවින් තබමි.
… හේතු ඵල දැක්වීම සඳහා ප්‍රාථමික කරුණු කිහිපයක්
- "ආරෝග්‍යා පරමා ලාභා" වහන්ස මෙහි අර්ථය කුමක්දැයි ශ්‍රාවකයන් විමසූ කල දේශකයාණෝ මෙසේ අර්ථ දෙසයි "නිරෝගිකම ලොකුම ලාභයයි" නගා දුන් එම අර්ථය ගත් කල්හි බුදුන්ටත් එය නොමැති ලාභයක්මැයි කියා ශ්‍රාවකයන් අතර අර්බුදයකි. දේශකයාණෝ එය නො දනී. පොතේ ඇති දේ තිතට දෙසා ගොස් දේශකයාණෝ සැතපේ.
- "කාලේන ධම්ම සවනං" වහන්ස මෙහි අර්ථය කිම යැයි ශ්‍රාවකයන් විමසූ කල සුදුසු කලට දම් ඇසිය යුතු යැයි දේශකයාණෝ පෙන්වයි. සුදුසු කල කවරේදැයි යළි විමසූ කල වෙනත් කටයුතු නොමැති නිදහස් වෙලාව යයි කියයි. එය අසා පිටවෙන ශ්‍රාවකයා ශාස්තෘ ධර්මය පෙරළා බැලූ කල "හිස ගිනි ගත්තෙකු එගිනි නිවීමට පෙර යම් තැනක දම් දෙසන්නේ නම් එය අසා සෝතයට පැමිණිය යුතු බව බුදූහු දෙසයි.
- දුටු එම අරුතින් ප්‍රති ප්‍රශ්න යෙදූ කළ දේශකයාණන්ගේ දිව ගොත ගසයි. එසේ වන්නේ හිස ගිනි ගත් කාලයත් සුදුසු කාලයක් නම් කාලයක් ගැන මෙහි නොකියන බවක් මා හට හැඟේ යැයි ශ්‍රාවකයා පැවසීමයි.
- "ජරා මරණං අනිච්චං" වහන්ස මෙහි අරුත කිම යැයි විමසූ කල "ජරා මරණ අනිත්‍ය" යැයි කියමින් දේශකයාණෝ අර්ථ දෙසයි. ශ්‍රාවකයා බුදු වදන බලද්දී "ජීවිතං අනියතං මරණං නියතං" ලෙස දක්වයි. දේශකයාණෝ අනිත්‍ය ලෙස පෙන්වා දුන් මරණය බුදූහු නිත්‍ය එකකැයි යම් තැනක දෙසයි. ශාස්තෘන් වහන්සේ එහෙයි කියා අනුමත කරද්දී දේශකයාණෝ නැතැයි කියා ප්‍රතික්ෂේප කරයි. ශ්‍රාවකයා තුළ අර්බුදයකි. දේශකයාණෝ එය නොදනී.
- "යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං" වහන්ස මෙහි අරුත කිම යැයි විමසූ කල "සිතෙහි සමුදය වන සිතිවිලි එතැනම නිරුද්ධ වන්නේය යැයි" දේශකයාණෝ දෙසයි. ශාස්තෘ ධර්මය සොයා බලන කල සමුදය දහම් සංඛත ලෙසත් නිරෝධ දහම් අසංඛත ලෙසත් මනාව පෙන්වා දෙයි. ඊට අනුව අසංඛත ධර්ම යනු නිර්වාණ පාර්ශවයේ ධර්මතා වේ. දේශකයාගේ දෙසුමන් මෙයට බහා බැලූ කල “සිතෙහි සමුදය වන සිතිවිලි එතැනම නිර්වාණයට වදී” යන විකෘති අරුතක් නැගී එයි. තවදුරටත් දුටුවහොත් නිරෝධ ධර්ම යනු නිර්වාණය යැයි බුදුහු දෙසද්දී එය ජරා මරණ යැයි දේශකයාණෝ කියයි. උපමාවක් ලෙස ගත් කල "ශාස්තෘන් වහන්සේ මේ දෑ සඳුන් යැයි පෙන්වා දී ඇති කළ දේශකයාණෝ නැත එය අසූචි පිඩක් යයි කියනවා වැනිය".
නූතන අර්ථකථනයන් ඉහත කී ආකාරයෙන් බුද්ධ වචනයෙන් සිඳ දමන අවස්ථාවන් පිළිබඳව මනා ලෙස සදහන් කරනවා නම් මා හට පෙර කී පරිදි එය ග්‍රන්ථ මාලාවක් ලෙස දීර්ඝව සැකසිය හැකි නමුත් ඉන් බිඳක් දැක්වූයේ මේ ලිපියේ දීර්ඝ බව අවම කර ගැනීමට බව සඳහන් කරමි.
… අහසට පොළොව ලෙස අතිශය පටහැනි මෙබඳු අර්ථ දැක්වීම් දැන නුවණැති ශ්‍රාවකයන් ක්‍රමයෙන් අස්ථානගත වේ
අහසට පොළොව ලෙස අතිශය පටහැනි මෙබඳු අර්ථ දැක්වීම් දැන නුවණැති ශ්‍රාවකයන් ක්‍රමයෙන් අස්ථානගත වේ. ඔවුන් සෙස්සන් ද වේගයෙන් දැනුවත් කරයි,එය ස්වභාවිකය, ඉන් පසු ඔවුනද ක්‍රමයෙන් අස්ථාන ගත වේ. පෙර කී ලෙස දක්වන හීන අර්ථයන් ශ්‍රාවකයන් තුළ අභියෝගයට ලක්වීම බුද්ධ වචනයට අනුකූලතාවයක් දක්වනවා හැර එය කිසිසේත්ම ධර්මය වැනසීමක් ලෙස දක්වනු නොහැකිය. වැනසී යන්නේ බුද්ධ වචනයට අනුකූල නොවන එබඳු හීන අර්ථයන් මිස ගැඹුරු අර්ථ ඇති කිසිදු පරස්පර නොමැති ශ්‍රේෂ්ඨ වූ බුද්ධ වචනයන් නොවන බව අවධාරණය කළ යුතුයි.
… මා කිව්වාට පිළි ගන්න එපා ! ( තථාගතයන් වහන්සේ දෙසයි ), මෙය පමණක් පිළිගනිව් ! ( ඔබ වහන්සේලා දෙසයි )
මා කී පමණින් ගෞරවයෙන් දරාගන්නට නොයා හැකිතාක් ඒවා අභියෝගයට ලක් කරමින් මුල මැද අග විමසා ධර්මයට යහපත්ව නිරවුල්ව බහා සිටින බව දුටු කල පමණක් දරා ගන්නා ලෙස බුදුහු පැහැදිලිව ශ්‍රාවකයන් හට දෙසා වදාරා ඇත.
ශ්‍රාවකයා බුදු අණ පිළිපදිමින් ධර්මයට බහා බලා පරස්පර නැගෙනා තැන්හි අභියෝග කරද්දී දේශකයන් බුදු අණ කඩ කරමින් ඕවා විකෘතියැයි මේවා පිළිපදිව් යැයි තර්ජනය කරමින් "සංවර චණ්ඩිකමක" යෙදීම නින්දිතය.
බොහෝ අර්ථයන් නොගැළපෙන ලෙසට දක්වමින් අභියෝග එන්නේ බුද්ධ වචනයෙන්ම මිස ශ්‍රාවකයින් ගෙදරින් රැගෙන ආ නව කතා ග්‍රන්ථ තුළින් නොවන බව මෙහිදී කිව යුතුමයි.
සබයට පැමිණ හීන අර්ථයන් රැකීමෙහිලා වීර කතා කීම මොණර නැටුමක් තරම් සිත්කළු වුවද පිටුපසින් සැමට පිළිකුල් සහගත දෙයක් පෙනෙනා බව මොණරුන් දන්නේ නැත.
… පාළිය හරි, ඒත් සිංහල පරිවර්තන ? බුද්ධ දේශනාව පරිවර්තිත වචන වලට පමණක් සීමා කල නොහැකියි !!!
- රකිනවා නම් පිරිසිදු බුද්ධ වචනය (පාලි පෙළ) රැකිය යුතුයි.
- වත්මන් පරිවර්තිත අර්ථයන් අභියෝගයට ලක්වන්නට ඉඩ තැබිය යුතුයි.
එවිට සිදු වන්නේ දේශකයාණන් වහන්සේලා හට රාජ කථා, චෝර කථා ආදී බුදුහු ප්‍රතික්ෂේප කළ දෙතිස් කතා පසෙකලා නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්නට ඇවැසි ගැඹුරු අර්ථයන් ගවේෂණය කරන්නට පෙරට වඩා උත්සහවත් වීමට සිදු වීමයි. භික්ෂුවක් ලෙස ප්‍රතිඥා දී ඇත්තේද ඒ සඳහාමයි.
… කසාවත දැරුවේ කුමටද?
එනම්,
"සබ්බ දුක්ඛ නිස්සරණ - නිබ්බාණ සච්ඡි කරනත්ථාය
ඉමං කාසාවන් ගහෙත්වා - පබ්බාජේත මං භන්තේ" කියායි.
"සියලු දුකෙහි නොසැරිසැරීම උදෙසා නිවන් සාක්ෂාත් කර ගැනීම උදෙසා මේ කසාවත ගෙන මා පැවිද්දෙක් කරත්වා" ලෙසයි.
එසේ ප්‍රතිඥා දී දරාගත් චීවරයට දරුණු ලෙස නිග්‍රහ කරමින් මැති සභයට ගොස් රට කරන්නට යෑම, ඡන්ද වේදිකා මත නැගී ගිරිය කඩාගෙන කෑ ගැසීම වැනි භික්ෂුත්වයේ අර්ථය කෙලෙසන බුදූහු පිළිකුල් කරමින් විනය තුළ ප්‍රතික්ෂේප කර ඇති ලෞකික කටයුතු වලින් ඉවත් වීමට සිදුවීමයි, දුන් ප්‍රතිඥාව සැබෑ ලෙස ඉෂ්ට කිරීමට සිදු වීමයි, එවිට ප්‍රතිපත්ති ගරුක විමුක්තිකාමී සිල්වත් ගුණවත් මහ සඟ රුවනක් රට තුළ නැවත පහළ වීමට හේතු වේ.
එසේ නොමැතිව අභියෝගයෙන් බිඳෙනා සුළු වත්මන් අර්ථයන් දරා ගනිව් යැයි බලහත්කාරයෙන් දුසිල් වත් විධාන දෙන්නට යෑම අඳ බාල කමේ උච්චස්ථාන ස්පර්ශ කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.
… ශාස්තෘන් වහන්සේ විසින් භික්ෂූන්ට වදාළ ප්‍රථම අවවාදය හැකිනම් මනාකොට පිළිපැද පෙන්වනු මැනවි
ඔබ වහන්සේලා ත්‍රිපිටක ධර්මයට සෙස්සන් විසින් අර්ථ පටලවා නිගා දෙනවා කියමින් ඔවුන් මැඬලන්නට ත්‍රිපිටක ධර්මය රකින්නට දත කන්නට පෙර, ත්‍රිපිටක ධර්මයේ ප්‍රථම සූත්‍රය වන සීලක්ඛන්ධ වග්ගයේ බ්‍රහ්මජාල සූත්‍රයේ ඇති ශාස්තෘන් වහන්සේ විසින් භික්ෂූන්ට වදාළ ප්‍රථම අවවාදය හැකිනම් මනාකොට පිළිපැද පෙන්වනු මැනවි.
“මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත් එතන්හිදී තොප විසින් කොප නොඉපැදැවියැ යුතුය. නොසතුට නොම ඉපැදැවියැ යුතුය. සිතැ අමනාප බව නොකොට යුතුය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තෙපි කිපෙන්නෙහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපටම (තොපගේම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාධා) වන්නේය.
මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් නගතොත් එහි තෙපි කුපිත වන්නාහු නම් එසේ කල්හි තෙපි ඒ අනුන් කී දෑ සුභාෂිතද (සත්‍ය කතාවෙක්ද ) නැතහොත් දුර්භාෂිතද ( අසත්‍ය කතාවෙක්දැ) යි දැනැ ගත හැකි වන්නාහුදැ?” යි ප්‍රශ්න කළ සේක.
“වහන්ස, මෙය නො වන්නේ මයැ (කිපුණොත් කියන කථාවේ ඇත්ත නැත්ත දැනගත හැකි නොවන්නෝමයැ)” ඒ භික්ෂූහු උත්තර දුන්හ.
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක) මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියතොත් එහි තොප විසින් ' මේ කාරණයෙනුත් මෙය අභූතයෙකි. මේ කාරණයෙනුත් මෙය අසත්‍යයෙකි. මේ කියන දෝෂය අප කෙරෙහි නැත, අප කෙරෙහි අවිද්‍යමාන යැයි නැති දොස් නැති සැටියටම ලිහා ඉවත් කොට යුතුය.”
… සිහිසුන්ද...?
යමෙකු ධර්මයට නිගා දුන්නා කියමින් ඔවුනට බාධා යෙදීමට හෝ ඔවුනට දඬුවම් පමුණුවා හිංසා කොට හෝ එය වැළැක්වීමට ශාස්තෘද්‍රෝහී අණ පනත් ගෙන ඒමට ඉහත ප්‍රථම බුද්ධ අවවාදයෙහි සඳහන්ව ඇත්දැයි නෙත් යොමා බලනු මැනවි.
නමුත් ඔබවහන්සේලා ධර්මයට කෙතරම් ලැදියාවක් ඇතිද කිවහොත් ධර්මට නිගාදෙන්නන්ට කිසිත් නොකරව්, ධර්මයට අනුව සිටිව් යනුවෙන් ශාස්තෘන් වහන්සේ අවවාද දුන් පසු ශාස්තෘන් වහන්සේවද පන්නාදමා ධර්මය රකින්නට යයි.
ඔබ වහන්සේලාට සූත්‍ර පිටකයෙහි බුදූහු වදාළ ප්‍රථම ධර්ම අවවාදයවත් පිළිපැදීමට නොහැකිව විනය පිටකයේ ඇති විනයක් රැක ගැනීමට නොහැකිව
- ත්‍රිපිටකය රකින්න යන්නේ සිහිසුන්වද?
- ධර්මයක් විනයක් පිළිපැදිය නොහැකි මණ්ඩල අටවාගෙන සෙස්සන්ට ධර්ම විනයට අවවාද දෙන්නට යන්නේ සිහිසුන්වද?
… අවබෝධය නැති ඔබලාගේ දැනුම ගැන ධම්ම පදයෙන්
පොතේ තියෙන දේ කටපාඩම් කරගෙන කට මැද දොඩවන දැනුමෙන් ඵලක් ඇති බව තවද සිහිවේ නම් දැනටමත් කටපාඩම් කරගෙන ඇති මෙම ධම්ම පද ගාථාව සිහි කර ගනු මැනවි.
“ යාවදේව අනත්ථාය - ඤත්තං බාලස්ස ජායතී
හන්ති බාලස්ස සුක්කංසං - මුද්ධමස්ස විපාතයං”
(ධම්මපදය බාල වග්ගය - බුදුරජාණන් වහන්සේ)
තේරුම : බාලයාගේ යම් කිසි දැනුමක් ඇත්නම් ඔහුගේ විනාශය පිණිසම එය හේතුවේ. අවසානයේ එම බාල තෙමේ තම නුවණත් වනසා ගෙන යහපත් ගුණ මඳක් හෝ ඇත්නම් එයත් වනසා ගනී.
ඉහත ගාථාවේ කෙතරම් සත්‍යක් ඇතිද යන්න තවමත් වටහා ගන්නට නොහැකිද?
… පාළිය තුළ ඇති ධර්ම ඥාණයේ තාක්ෂණික වචන වලට පෘතග්ජනයකුට අර්ථ සැපයිය නොහැකි බව
බලහත්කාරයෙන් රකින්නට සිදු වන්නේ මුසාවන්ය. පරම සත්‍යයක් රැකෙන්නේ ධර්මතාවයෙනි. ඒවා ආයාසයෙන් රැකිය නොහැක. මෙහිදී පාළි භාෂාවෙන් ලියැවුනු බුද්ධ දේශනා සිංහලට නගද්දී (සිංහල කීවාට මේවා සංස්කෘත මිශ්‍ර සිංහල භාෂාවය) සැම තැන්හි දොස් ඇති බවක් මා නොකියමි. එසේ කියන්නේ භාෂාවක් යන්න සම්මතයක් වන හෙයින් සම්මතයෙහි සිදුවන සියලු දෑ එම භාෂාව උගත් කළ නිර්වචනය කළ හැක. නමුත් සම්මත භාෂාවන් තුළ ක්‍රියාත්මක වන විවිධ විෂයන් ඇත. එම එක් එක් විෂයයන්ට අදාල තාක්ෂණික වචන මාලාවන්ද ඇත. විෂයානුබද්ධ එම තාක්ෂණික වචන මාලාවන්ද සම්මත භාෂාව අතර මෙහෙයවමින් පරිහරණය කරයි.
එවැනි එක් විෂයයක් දත් කෙනෙකු එම විෂයට අදාළ තාක්ෂණික වචනයක් ශබ්ද කළ විට එම වචනය පෙන්වන්නේ විෂයට අදාළ තාක්ෂණයේ කොතැනදැයි දන්නේ එම විෂය දන්නා දකිනා පිරිස පමණය. නිදසුනක් ලෙස දැක්වුවහොත්,
… තාක්ෂණයේ පමණ නොදැන තාක්ෂණික වචනවල හරය ගත නොහැකි බව -උපමාවක්
අන්වීක්ෂය තුළින් දුටු සියුම් දෙයකට විද්‍යාඥයන් වෛරසය යන තාක්ෂණික වචනය යොදයි. වෛරස යන වචනය ඇසෙද්දී ඔවුනට එම වචනයෙහි නිසි සංඥාව නැගෙයි. ඊට හේතුව අන්වීක්ශයෙන් එය දැක තිබීමයි. ඔවුන් අතරින් දෙදෙනකු බාහිර සමාජයේ හැසිරෙන අවස්ථාවකදී "වෛරසය නැසීමට වැඩක් කරමු" යැයි සම්මත භාෂාවෙන් පද පෙළක් හඩ නඟයි. එය ඇසෙනා සෙස්සන්ට "නැසීමට වැඩක් කරමු" යැයි කී පදයන්ට අර්ථ සංඥාවන් පහසුවෙන් සිතට පැමිණෙන නමුත් වෛරසය යන වචනයට අර්ථ සංඥාව නොම ඒ. මෙතැන විද්‍යාඥයන් දෙදෙනා කතා බස් කළ සම්මත භාෂාවට අදාළ "නැසීමට වැඩක් කරමු" යන පදයන් සෙස්සන්ට වෙනත් භාෂාවකට පරිවර්තනය කළ හැකි නමුත්, වෛරසය යන පදයෙහි සංඥාව නොදන්නා හෙයින් එහි අර්ථය පරිවර්තනය කරනවා තබා අදහසක් හෝ ගැනීමට අපහසුය.
ත්‍රිපිටක පෙළ දහමට පාලි භාෂාව දත් උගතුන් විසින් අර්ථ නගා දීමට ගොස් සිදු වී ඇත්තේද පෙර කී උපමාවට සමාන දෙයක්මය.
… ශාස්තෘන් වහන්සේගෙයි මේ තාක්ෂණික වචන
ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, පංචස්කන්ධය, චතුරාර්ය සත්‍ය ආදී තවත් අනේක විධ මනෝ තාක්ෂණික පදයන් ලොවට ප්‍රථමයෙන් හඳුන්වා දෙන්නේද තථාගත බුදු රජවරුන්ය.
එම තාක්ෂණික පදයන් අතරින් එක් පදයක් වන “විඤ්ඤාණ” යන පදය සිතෙහි යෙදෙන තැන් නිශ්චිතව සිත තුළ බෙදා නොදැක එම පදය යොදාගෙන අදහස් දැක්වූ “සාතී” නම් භික්ෂුවකට බුදුහු “මෝඝ පුරුෂය” මා ඔය පදය කීවේ ඔය අරුතින්ද යනුවෙන් නිග්‍රහ කොට පෙන්වාදී ඇත.
මෙම නිදසුන පෙන්වමින් මෝඝ පුරුෂයා යනුවෙන් පදය දැනගත් අර්ථය අවබෝධ කර නොගත් සාතී භික්ෂුවට නිග්‍රහ කළ බව විනය විරෝධී ත්‍රිපිටක පනතට උරදෙන පොත් කට පාඩම් කරගත් විනය පිරිහුණු මහාචාර්ය්‍ය භික්ෂුවක් කට මැද දොඩවනවා මා නෙත ගැටුණි. ශාස්තෘන් වහන්සේ අද වැඩ සිටියා නම් “තුච්ඡ පොටිල” යනුවෙන් ධර්මය කටපාඩම් කරගත් පොටිල භික්ෂුවට ඇමතූ ආකාරයෙන් අමතනවා එය දැක මා හට මැවී පෙනුණි.
බුදූහු ජීවමාන කාලයේදී පවා පදය දැනගත් නමුත් එය සිත තුළ යෙදෙන තැන් නොදැක ගත් භික්ෂූන් සිටි බවට මෙය කදිම නිදසුනකි. අද වන විට එයද ඉක්මවා ගිය සාසන භක්ෂක මෙවැනි භික්ෂූන් සාසනයේ බොහෝ කොට ඇත. වසර 2500 ක් ඇවෑමෙන් මෙම පදවල සූක්ෂම අර්ථයන් දන්නා කලණ වැට අනුව පැවත එන ශ්‍රාවකයින් කෙමෙන් සිදී ගොස් ඇත. එනමුදු එබඳු උත්තමයන් අති දුර්ලභව අප්‍රකටව තැන තැන වැඩ සිටිය හැක. නමුත් නූතන අර්ථකථනයන් සපයා ඇත්තේ අති දුර්ලභ එබඳු උන්වහන්සේලා අතින් නොවන බවත් වසර 60 ක් 70 ක් අතර මෑත කාලයේදී පාලි භාෂාව උගත් පෘථග්ජන භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත මණ්ඩලයකින් බවත් බොහෝ උගතුන් දන්නා සරල කරුණකි. එනිසා මේවායේ සත්‍ය වසන්නට කිසිසේත් සුදුසු නැත.
… තාක්ෂණය දන්න කෙනකුයි එහි පද අරුත් දන්නෙ
පාලි භාෂාවෙන් පැවත එන ත්‍රිපිටක පෙළ දහම පරිවර්තනය සඳහා භාරතයේ පවතින සම්මත පාලි භාෂාව පමණක් උගෙන දරා පැමිණීම කිසිසේත් ප්‍රමාණවත් නොමැත. එම දැනුම ප්‍රමාණවත් වන්නේ පාළි ත්‍රිපිටක පෙළ දහමෙහි අඩංගු සිද්ධීන්, අවසථාවන්, කථා වස්තු, ක්‍රියාකාරකම් වැනි සමාජ චර්යාවේ අන්තර්ගතයන් අර්ථ දැක්වීමට පමණය. ඊට කිසිසේත් අදාළ නැති මනසේ අභ්‍යන්තරය සූක්ෂමව බෙදා දක්වා එහි එක් එක් සූක්‍ෂම තැන් වෙන වෙනම නිශ්චිතව හැදින්වීමට බුදු මුවින් ලොවට බිහිකළ අත්භූත තාක්ෂණික පදයන් අර්ථ දැක්වීමට සම්මත පාලි භාෂා දැනුම කිසිසේත් ප්‍රමාණවත් නොමැත.
ත්‍රිපිටක පෙළ දහම තුළ ගැවසෙන සාමාන්‍ය සම්මත පාලි භාෂාවට බුදු මුවින් ලොවට බිහිකළ නිශ්චිත අර්ථ ඇති අති සූක්ෂම තාක්ෂණික පදයන් මිශ්‍ර වූ විට එම අත්භූත පදයන් නිශ්චිතව අර්ථ දීමට සම්මත පාලි භාෂාව උගෙන දරාගත් උගතුන්ට කිසිදා නොහැකි වන බව නුවණැත්තෝ දකිනු ඇත.
එවිට වන්නේ පෙර දැක්වූ උපමාවට අනුව අන්වීක්ෂයෙන් නොදුටුවන් වෛරසය යන තාක්ෂණික පදය දැක එය මෙවැන්නක් වන්නට ඇත යැයි උපකල්පන අර්ථ නැගීම වැනි දෙයක්ය.
එම අද්භූත මනෝතක්ෂණික පදයන්ගෙන් දක්වන්නේ කුමන නිශ්චිත අර්ථයක්දැයි මනාව දන්නේ සිත තුළ ඇති එම තැන් දහම් ඇස නමැති අන්වීක්ශයෙන් දැක පෙන්වාදුන් ශාස්තෘන් වහන්සේ ප්‍රමුඛ, පහළ වූ දහම් ඇස ඇති උතුමන්ම පමණි. ( චක්ඛුං උදපාදී යනුවෙන් දහම් ඇස පිළිබඳව ධම්මචක්ක පවත්වන සූත්‍රය මනාව පෙන්වා දෙයි. එය ඇත්තේ අධිගමන ලාභී උතුමන්ට පමණි)
එබඳු උතුමන් එම තාක්ෂණික පදයන් සම්මත භාෂාවන් තුළින් හසුරුවා ඇති අවස්ථාවන් අඩංගු එකතුවක් ලෙස ත්‍රිපිටක පෙළ දහම දැක්විය හැකිය. කලණ වැට යනුවෙන් අදහස් කරන්නේ මෙවැනි අධර්මවාදයෙන් ගිනි ඇවිලී ගිය සාසන භක්ෂකයින්ට නොවේ.
එසේ අර්ථ දායාද වෙමින් තථාගතයන් වහන්සේගෙන් ඇරඹී එකිනෙකාට අර්ථය මුඛ පරම්පරාවෙන් දෙසා දහම් ඇස පහළ කරවමින් අඛණ්ඩව පිළිවෙලින් පැවත එන සබෑ අර්ථධාරී උතුමන්ටය.
… බුද්ධ සාසනය යනු හුදෙක් අෂ්ඨ ආර්ය පුද්ගලයන්
අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආදී වශයෙන් අර්ථධාරී එබඳු උතුමන්ට භගවත්හුගේ ශ්‍රාවක සංඝයා යනුවෙන් බුදුහු ආමන්ත්‍රණය කරයි. එබඳු උතුමන් අද වන විට අප්‍රකටව යම් යම් තැන් වල වැඩ හිදිනා බවට පැහැදිලි සාක්ෂියක් ලෙස ධාතු පරිනිර්වාණය නොවීම පෙන්වාදිය හැකිය. එසේ කියන්නේ අනඳ තෙරුන් හට බුද්ධ සාසනය සම්පුර්ණයෙන් රදා පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් මත බවට බුදූහු දේශනා කොට ඇති හෙයිනි. එසේ ගත් කල බුද්ධ සාසනය යනු හුදෙක් අෂ්ඨ ආර්ය පුද්ගලයන් මිස අනෙකුත් කිසිවක් නොවන බවත් අනෙක්වා සාසනයට අදාළ වස්තු රූපයන් හා සාසන සංකේතී පුද්ගලයන් බවටත් නුවණින් දත යුතුය.
අෂ්ඨ ආර්ය පුද්ගලයන්ගේ නික්ම යාමෙන් අනතුරුව බොහෝ කාලයාගේ අවෑමෙන් සම්මුති සඝරුවනට අයත් සාසන සංකේතී පුද්ගලයන්ද කාසාව කන්ඨකත්වය දක්වා පරිහානියට පත්ව යයි.
… සාසන අන්තර්ධානය
පෙර කී පරිදි බුද්ධ සාසනය සම්පුර්ණයෙන් රදා පවතින්නේ අෂ්ඨ ආර්ය පුද්ගලයන් මත බව බුදුහු අනුදැන වදාරා ඇති හෙයින් සාසන අන්තර්ධානය සිදුවන්නේද දහමෙහි නිසි අර්ථ දරණා අවසාන ආර්ය උතුමන් වහන්සේ කලණ වැට බිඳගෙන මනුලොවින් නික්මෙනා දිනටය.
එකළට භාග්‍යවත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සියලු ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේලා එක්රැස්වී ඍදි ප්‍රාතිහාර්යන් පා පරිනිර්වාණයට පත්වෙමින් ගෞතම බුදු සසුන මනු ලොවින් අන්තර්ධාන වන බව නැණ නුවණින් දත යුතුයි.
… උපකල්පනය කරගත් හීන අර්ථයන් ගල් වඩුවන් ලවා මහා පර්වතයක කොටා කල් තබා ගත්තද, නිවනට ඉන් වෙයිද ඵලක් ?
මා පෙර දැක්වූ පරිදි ත්‍රිපිටක පෙළ දහමෙහි ගැවසෙන තාක්ෂණික පද වලට ලබාදී ඇති උපකල්පනය කරගත් හීන අර්ථයන් ගල් වඩුවන් ලවා මහා පර්වතයක කොටා කල් තබා ගන්නට වෙහෙසුනද කළණ වැට බිදී සසුන මනු ලොවින් නික්මුණ දිනයට නිවනට ඉන් ඵල නොමැතිය.
… බුද්ධ දේශනා ලෙස අප පිළිගන්නේ නැත යැයි ධර්මය කපා හරින භික්ෂුන්වහන්සේලා
තමන්ගේ අතිශය හීන ළදරු අර්ථ තුළට සමහර බුද්ධ දේශනා විරුද්ධව යද්දී එම දේශනා බුද්ධ දේශනා ලෙස අප පිළිගන්නේ නැත යැයි කියා උන්මන්තකයන් ලෙස ධර්මය කපාහරින භික්ෂුන්වහන්සේලාද වර්තමානයේ බිහි වී ඇත. ඊට හේතුව ලෙස දක්වන්නේ අභිධර්මය දෙවියන්ට කළ දේශනා හෙයින් ඒවා මනුෂ්‍යයින්ට වැදගත් නැති බවයි. නමුත් සටකපට ලෙස සමාජයට එවැනි හේතුන් දැක්වුවද සැබෑ හේතුව වන්නේ ධර්මයට ඔවුන් සපයා දුන් හීන අර්ථකතනයන් අභිධර්ම පිටකයට බහා නොහිටීමයි. එය වසාගන්නට ව්‍යාජ හේතු දක්වයි. දෙව්ලොවේදී භගවත්හු සිදුකල අභිධාර්මික දේශනා සැරියුත් මහතෙරුන්ට දෙසා වදාළ බවත්, සැරියුත් හිමි තම ශිෂ්‍යන්ටද ඒවා දෙසා වදාරා ඇති බවත්, ශිෂ්‍යන් විසින් තවත් ශිෂ්‍යන් පහළ කරමින් මුඛ පරම්පරාවෙන් රැගෙනවිත් අවසානයේ ග්‍රන්ථාරූඩ කල බවද හොදින් දන්නා නමුත් මොවුනට උන්වහන්සේලා මනුෂ්‍යයෝ නොවෙති. මොවුනට අනුව දෙවියන්ට කළ සියලු සූත්‍ර දේශනා සූත්‍ර පිටකයෙන් ද ඉවත් කළ යුතුය.
මොවුන්ගේ තර්කයට අනුව ප්‍රඥාවෙන් බුදූහුට පමණක් දෙවෙනි වූ සැරියුත් හිමියන් හා උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට වඩා මොවුන් ප්‍රඥා අධිකය. උන්වහන්සේලා නිකරුනේ දෙවියන්ට දෙසූ මනුෂ්‍යන්ට නොවැදගත් දේශනා මෙසේ දීර්ඝ කාලයක් රැගෙනවිත් ඇත. නමුත් ඒවා රැගෙනවිත් ඇත්තේ මොවුන් වැන්නන්ගේ හීන අර්ථ බිඳ හෙලීමට බව මොවුන්ට තවද සිහි නොවෙයි. මොවුන්ගේ අඳබාල අර්ථයන්ට අභිධර්මය තඩිබාද්දී එම හීන අර්ථ රැකීමට අභිධර්මය බුද්ධ දේශනාවක් නොවන බව කියමින් සටකපට ලෙස අභිධර්මය කපා දමයි.
… එවන් භික්ෂුන්වහන්සේලාද මෙවැනි පනත් වල තීරක මණ්ඩල වලට නො එතැයි සහතික විය හැකිද…?
මෙබඳු හීන නුවණ ඇති භික්ෂුන්වහන්සේලාද මෙම සාසනද්‍රෝහී පනත සම්මත වුවහොත් කාලයාගේ ඇවෑමෙන් එහි තීරක මණ්ඩලයට ක්‍රමයෙන් පැමිණීම වැළකිය නොහැක. එකළට ඔවුන් විසින් අභිධර්මය නැමැති ශාස්තෘ ධර්මයේ ශ්‍රේෂ්ඨ හිස ගසා වෙන්කොට ඉවතට විසි කරනා බව අනාගත භය සූත්‍රයක් ලෙස හෝ දකිත්වා ...!!!
… මේ සාසනද්‍රෝහී පනත, ධර්මයෙහි ගෙල නිල වශයෙන් සිඳින්නට එසවෙනා මාරයාගේ අසිපත බව දනිවු !!!
බුදු අණ සැමතින් සුණුවිසුනු කරමින් පනතක් ලෙස වෙස්වලා අද මේ කරලියට වදින්නේ මතු දිනකදී ධර්මයෙහි ගෙල නිල වශයෙන් සිඳින්නට එසවෙනා මාරයාගේ අසිපත බවට නුවණැති බෞද්ධයන් දකිව්.
දැක මීට එරෙහි වව්.
අධිගමනයට නොපැමිණි අඳ බාල භික්ෂූන් සමග වැදී තෙපි මේ මෝඝයන් ලෙස සාධු නද දී අනුමෝදන් වන්නේ දරුණු පාපයක් බව නොදනිව්ද?
අඳ බාල පුරුෂයිනි සඝ සම්මතව බුදු අණ බිඳ හැරීම යන දරුණු පාප කර්මය අනුමෝදන් නොවව්.
කුසල් මුල් සිදගන්නට පෙර ධර්මය අධර්මය පෙන්වා තෙපි මුදවා ගැනුමට ආ ධර්ම දූතයා ලෙස මෙම හසුන දකිවු.
කෙලෙස් නින්දේ නිදි වැදී ඇති තෙපි පිබිදෙව්, පිබිදී මින් ගැලවෙව්.
... රජුට වහා දන්වව්...!!!
බුදු රජ පෙන්වූ නීති රීති බුදු සසුන රැකුමට තුන්කලටම සුදුසුය. ඒවා ඉක්මවා යන පර නීති සසුනට අවැසි නැති බව රජුට වහා දන්වව්. ඇඟිල්ලේ තරමට ඉදිමෙව්. බුදූහු ඉක්මවා නොයවු.
… මැස්සන්ගේ දෝෂද දනිමි
තැබුමට බොහෝ දේ ඇතත් දැනට මෙතනින් නවතා කියමි මා සිත මැදහත්ය. මැස්සන්ගේ දෝෂද මා දකිමි. ඒවාද දීර්ඝව අකුරු කල හැකිමුත් ඒවා පසෙකලා යන මෙය ඉතා දරුණුය. රජු වැනි ධර්ම විනය කෙලෙසා මැස්සන් මරා ඵලක් නැත. එවිට රජු අණ බිඳේ. ඉන් පාපය නැඟේ. බුදු රජ අණ අප දිවිහිමියෙන් රැකිය යුතුය.
මේවා දැක මා ගැන විපරම් කෙරුමට අවශ්‍යම නැත. අවැසිනම් දෙව් පුර සුදම් සභා හසුනක් සේ හෝ මෙය දැක පාපයෙන් මිදෙත්වා !!!
අනුනද ඉන් මුදවත්වා !!!
ආයති සංවරයෙහි පිහිටත්වා !!!
ශාස්තෘ ගරුක වෙත්වා !!!
ශ්‍රමණයෙකු ලෙස සිතත්වා !!!
අවබෝධය කරා එලඹෙත්වා !!!
නිවනට උත්සුක වෙත්වා !!!
--- උපුටා ගැනීම අවසානය--
ධර්ම දානමය පිංකමක් ලෙස බෙදාහරින්න
ඔබ දන්නා සහ නොදන්නා කිසිවෙකුට, මහා නිරයට ඇද වැටෙන මේ මහා පව්කාර කමට හවුල් වෙන්න ඉඩ දෙන්න එපා!!!
මෙය මුද්‍රණය කර බෙදා හරින්න!
සමාජ ජාලාවල පතුරුවා හරින්න!
මුද්‍රිත මාධ්‍ය වෙත යොමු කරන්න!
විද්‍යුත් මාධ්‍ය වෙත යොමු කරන්න!
සියලුම අන්තර්ජාල මාධ්‍ය වෙත යොමු කරන්න!
මෙය හොඳයි සහ නොහොඳයයි සිතන සියලුම සංඝ පීතෲන් වහන්සේලා වෙත යොමු කරන්න!
ජනාධිපතිතුමා වෙත යොමු කරන්න!
අගමැතිතුමා වෙත යොමු කරන්න!
ඇමති මණ්ඩලයට යොමු කරන්න!
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන්ලා වෙත යොමු කරන්න!
පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලන බලධාරීන් වෙත යොමු කරන්න!
අදාල සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත යොමු කරන්න!
සියලු මනුෂ්‍යයෝ දැනුවත් කරන්න!
E-mail කරන්න!
SMS කරන්න!
ඔබ මේ මහා පාපයෙන් බේරෙන්න!!!
අන් අයත් බේරන්න!!!
තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු
ReplyDeleteඒ මහා දිර්ඝ වුත්, මනා පැහැදිලි වුද, ධර්මානුකුල විග්‍රහයට මාගේ නමස්කාරය වේවා..
මේ තාක් වෙහෙස මහන්සිව, මේ ලිපිය කාලෝචිතව සමාජ ගත කරමින් මෙ ආකාරයෙන් සමස්ත හෙළ බෞද්ධයන්ට ත් ලෝක වාසි බෞද්ධයන්ට තතාගතයන් වහන්සේ දේශනා කළ පරිදි,
නිදහසේ දහම් ශ්‍රවණය කරමින්, තම තමන් කැමති පරිදි දම් පැන් ලබා දෙමින් කටයුතු කරමින්, අවබෝධ කළ හෑකි අයට අවබෝධ කරගැනීමට ඇති මේ දහම් මග, ලෝක සත්වයාට ආරක්ෂා කරදීම උදෙසා මේ කළා වු මහා විග්‍රහය බොහෝ ජනයාගේ හිත සුව පිණිස වේවා.
මේ ලිපිය ලියන්නට හිත තැබු යම් අයෙක් වේද, ඒ සදහා වෙහෙස මහන්සිව කටයුතු කළ යම් පිරිසක් වේද,
ඒ හැමදෙනාට මේ ජීවිතයේදීම නිවන් සාක්ෂාත් කරගැනීමට ලැබේවා
සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි
මෙහි ඇති සත්‍ය සැමටම වැටහේවා🙏 බොහෝ පින් මෙවැනි දැනුවත් කිරීමක් කලාට.
ReplyDeleteDanuwath kalata Sthuthi....!!!
ReplyDeleteස්තූතියි
ReplyDeleteමෙසේ කරන ලද විග්‍රහයට ඔබතුමාට උතුම් නිවනින් සැනසීමට මේ පින හේතු වේවා වාසනා වේවා!!!!
ReplyDeleteනිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
මේ පැහැදිලි කිරිම වටිනවා නමුත් ශාසනය රකිනවා කියන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත,
ReplyDeleteවඩා වටින්නේ බුදුු දහමද සාසනයද?
ලෝකයේ සිටින ප්‍රඥවන්තයින්ට
ප්‍රයොජනයක් තියෙන්නේ බුදු දහමෙන්ද සාසනයෙන්ද
බුදු දහම ගැන මොකවත් දන්නේ නැතිව විනය හො සාසනය රැකීමෙන් ප්‍රයොජනයක් තිබේද
එමනිසා බුදු හිමියන් නිවන් දැකීම සදහා දෙශනා කල දහමත් උන් වහන්සේ එවකට අනුගමනය කල ශ්‍රමන සම්ප්‍රදායත් පටලවා ගතයුතු නැති අතර නුතනයේ දි බුදු දහමටත් බෞද්ධ සංස්කෘතියටත් ශාසනයටත්
කිසිදු හානියක් නොවන ලෙස යහපත් සංකතනයක් අපට අවශ්‍යය ඇත
අද දවසේ විමසිය යුතු ප්‍රශ්න වේ
බුදු සසුන රකින්න සුනාථ ධරේථ චරාථ ධම්මේ
Deleteදහම හරි වැරදි තෝර ගන්න ruler අංගුත්තර නිකාය අට්ටක නිපාතය ගෝතමීවග්ගය ගෝතමීයෝවාද සූත්‍රය බලන්න... තෙරුවන් සරණයි
මෙහි ඇති සත්‍ය සැමදෙනාටම වැටහේවා!
ReplyDeleteමෙහි ඇති සත්‍ය සැමටම අවබෝධ වේවා ,කරන්න ට යන සාසනවිරෝදි කටයුතු අසාර්ථක වේවා ,නිර්මල බුදු දහම සුරැකේවා,
ReplyDeleteDrmaya awaboda wrhwa
ReplyDeleteමනා ලෙස විග්‍රහ කර තිබේ.සාදු සාදු සාදු ..සියල්ලෝ ම මෙය අවබෝධ කරත්වා..!!!
ReplyDeleteමේ පණත අකුළා ගන්නා තුරු සද්ධර්මයේ නිදහස් චින්තනය වළකිලීමට කිසිසේත් ඉඩ නොදිය යුත්තේ, නොබියව වැර වඩා කටයුතු කරමු෴
ReplyDeleteධර්ම සංගායනාවකට කාලයයි.ඒ සදහා අර්ථ දර්ම නිරුක්ති පථිභාන සහිතව දහම ප්‍රතක්ෂකල මගඵල ලාභීන් ගේ පිහිට ලබාගත යුතුයි.මේ හෙලබිමේ දැනට උන්වහන්සේ ලා
ReplyDeleteවැඩ සිටී
සාදු සාදු සාදු ඔබගේ මෙමඋතුමි වෑයම අගේ කොට සලකමි.අපරටෙි උගත් යතිවරයාණන්වහන්සේලා මෙවැනි ලිපි කියවන්නේ නැතිද.කෙසේහෝ එතුමන් අතටද පත්කොට රට කරවන අයටද මෙි ලිපි බෙදාදෙන්නේ නමි ඉතා අගනේය.තෙරැවන් සරනින් ඉක්මනින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා නිරෝගි සුවපත් ජිවිතයකට සුබ පැතුමි
ReplyDeleteසාදු සාදු සාදු
ReplyDeleteඅග්‍රගණ්‍ය දැනුවත් කිරීම ක්.. සියලු දෙනා ගේම ඇස් කන් ව්වර වේවා...
ReplyDelete,🙏🙏🙏 මාරය, අධර්මයක් දුටුවිට ධර්මයෙන් කරුණු පෙන්වා අධර්මය යටපත් කොට ධර්මය නගාසිටුවීම ට මා ගේ භික්ෂූන් දක්ෂ වනතුරු, අවිනයක් දුටුවිට විනයෙන් කරුණු පෙන්වා අවිනය යටපත් කොට විනය නගා සිටුවීමට මාගේ භික්ෂූන් දක්ෂ වනතුරු, මාගේ පිරිණිවන් පෑමක් නැත.,🙏🙏🙏එබඳු මහා ප්‍රාත්ඤයන් අදත් සිටින බවට මේ ලිපිය මහා සක්ෂි දරයි.ඇස් ඇත්තෝ මෙම හසුන මනාව කියවා පාපයෙන් මිදෙත්වා!!!!!!
ReplyDeleteඒ භාග්‍යවත් වූ අරිහත් වූ තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් ඒ නිර්මල දහම සියලු ලෝක සියලු සත්වයන්ගේම හිතසුව පිණිසමයි, මාරය ඔබගේ ජීවිතයේ විමුක්තියද පසිඳලනුයේ මෙම නිර්මල දහම තුළින්මය, එබැවින් මෙම ඉස්මතුකළ දහම හේතු ඇති, පෙර පින්කුසල් කළ, මේ අත්බවයේ හේතු සකසාගන්න උතුම් දහම් ඇස පහළවීමටම නැගී සිටිත්වා, ඒ මතුකළ දහම උත්තරීතර අමාමෑණියන්ගේ බුද්ධ වචනයයි එය ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් මෙම ත්‍රිපිටකයට එරෙහි පනත සුණු විසුණු වෙත්වා අනන්ත ලෝ සතුන් සංසාර භවයෙන් මිදෙත්වා තෙරුවන්සරණයි මේ නිර්මල දහම රැකගැනීම සඳහා උරදෙන සැදැහැවත් උත්තමයන්ට මේ පින්කුසලයන්ගේ බලමහිමයෙන් මහත්ඵල මහානිසංසම වෙත්වා උතුම් නිවනම ශාක්සාත් කරගනිත්වා සාදු සාදු සාදු ...!!!
ReplyDeleteBudun vahanse pahala vuuye dambadiwada, lankaweda yana muuladharmavadi mara ugulen bodunuwan beeraa geniimata da mewenima vedagath pehedili kiriimaka awashyathawa mathuwa thibee.
ReplyDeleteඅද වනවිට නිවන් මඟ පසක් කර ගැනීමට බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය, වැදුම්, පිදුම්, යැදුම්, පැතුම් වලට සිමා වී ඇත. පින කුසලය එකක් යැයි පැවැසේ. බුදු දහම විනාශ කිරීමට දරන මේ කූට පණත් කෙටුම් පත් උපක්‍රමයට විරුද්ධව ජනතාව නැගී සිටිය යුතුයි.
ReplyDeleteසියලු දෙනාගේ ඇස් කන් ඇරේවා
ReplyDelete